newlywed-couple-killed-in-henegama-accident

පාසල් වියේදී දලුලා වැඩුණු ප්‍රේමයකට මල් ඵල ගන්වමින් පසුගිය ජනවාරි මාසයේදී යුග දිවියට එළඹුණු තරුණ යුවළකගේ ආදර කතාව, හදිසි රිය අනතුරකින් සදහටම නිමාවට පත්වූ සංවේදී පුවතක් හේනේගම ප්‍රදේශයෙන් වාර්තා වේ. එකිනෙකාගෙන් මොහොතක් හෝ වෙන්ව සිටීමට නොහැකි තරම් සෙනෙහසකින් බැඳී සිටි ඔවුන්ගේ අවසන් ගමන ද එකම මිනී වළක් තුළ සනිටුහන් වීම මුළු මහත් ප්‍රදේශයම බලවත් ශෝකයකට පත් කර තිබේ.




ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි ආර්.ඩබ්ලිව්. ගිහාන් රන්දීල් රාජපක්ෂ සහ 26 හැවිරිදි ජේ.පී. නදීෂානි තේජා පසුගිය ජනවාරි 16 වැනිදා සිය විවාහ දිවියට ඇතුළත් වූහ. කොළඹ පිහිටි පෞද්ගලික යතුරුපැදි සමාගමක කාර්මික ඉංජිනේරුවරයකු ලෙස ගිහාන් සේවය කළ අතර, නදීෂානි බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි බුද්ධශාසන අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ කළමනාකාර සහකාරවරියක ලෙස කටයුතු කළාය. විවාහයෙන් අනතුරුව සිය රැකියාවලට යාමේ පහසුව වෙනුවෙන් ඔවුහු හේනේගම, ගැඩුමාන ප්‍රදේශයේ නිවසක පදිංචියට පැමිණ සිටියහ.

පසුගිය 09 වැනිදා උදෑසන ද වෙනදා මෙන් සිය යතුරුපැදියෙන් රැකියා ස්ථාන කරා ගමන් කරමින් සිටියදී ඔවුන්ට මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදුවිය. හේනේගම ප්‍රදේශයේදී ඔවුන් ගමන් කළ යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටී, මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක ද වැදීමෙන් දෙදෙනාම බරපතළ තුවාල ලැබූහ. සිද්ධිය වූ ස්ථානයේදීම ගිහාන් අවාසනාවන්ත ලෙස මියගිය අතර, ඔහුගේ සිරුර රදාවාන ග්‍රාමීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි. බරපතළ තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනු ලැබූ නදීෂානි ද පසුව මියගොස් ඇති බව පවුලේ ඥාතීන්ට දැනගන්නට ලැබී තිබුණි.




නදීෂානි සිය ප්‍රාථමික අධ්‍යාපනය මාතර විලයාය කනිෂ්ඨ විද්‍යාලයෙන් ද, සාමාන්‍ය පෙළ හැදෑරීම කොළඹ මරදාන ගෝතමී විද්‍යාලයෙන් ද සම්පූර්ණ කර තිබුණි. ඇය උසස් පෙළ හැදෑරීම සඳහා හේනේගම ජාතික පාසලට ඇතුළත් වූ අතර, ගිහාන් මුණගැසෙන්නේ ද එහිදීය. පාසල් සමයේදී ඇරඹි ඔවුන්ගේ ප්‍රේම සබඳතාව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගැනීම දක්වා වූ කාලය පුරාවටම නොසැලී පැවතිණි.

නිවාඩු දිනවලදී චිත්‍රපට නැරඹීමට යමින් සහ විවිධ ස්ථානවල සංචාරය කරමින් සතුටින් කාලය ගත කළ මේ යුවළගේ බැඳීම ඉතා ගැඹුරු එකක් විය. ගිහාන්ට සිය රැකියා ආයතනයෙන් විදේශගත වීමට ලැබුණු වටිනා අවස්ථාව ද ඔහු ප්‍රතික්ෂේප කර තිබුණේ සිය ආදරණීය බිරිඳ සහ මව මෙරට තනි කර යාමට නොහැකි වූ බැවිනි.



දැඩි කැපවීමකින් සහ දක්ෂතාවකින් යුතුව වෘත්තීය කටයුතුවල නිරත වූ මේ තරුණ යුවළගෙන් රටට සහ ජනතාවට ඉටුවිය යුතුව තිබූ වටිනා සේවය අහිමි වී යාම දැඩි කනගාටුවට කරුණක් බව මියගිය නදීෂානිගේ මව වන 49 හැවිරිදි රසිකා රණසිංහ මහත්මිය පැවසුවාය.

මේ අතර ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ සිදුවන අනතුරු බහුතරයක් යතුරුපැදි අනතුරු බවයි. යතුරුපැදිකරුවන්ට සුදුසු ආරක්ෂිත පරිසරයක් මාර්ග පද්ධතියේ නොමැති වීමත්, අලුත්වැඩියා නොකළ වළගොඩැලි සහ නොපැහැදිලි මාර්ග සලකුණු මෙලෙස අනතුරු ඉහළ යාමට සෘජුවම බලපාන බව ඔවුන්ගේ මතය වී තිබේ.

අකල් වියෝවෙන් නික්ම ගිය යුවළගේ අසීමිත ආදරය හේතුවෙන්ම, ඔවුන්ගේ දේහයන් දෙකම නිවසේ සාලයේ එක ළඟ තැන්පත් කිරීමට කටයුතු කළ බව මියගිය තරුණියගේ ඥාතිවරියක වන මල්කාන්ති කුමානායක මහත්මිය සඳහන් කළාය. වෙන් කළ නොහැකි වූ ඒ ආදරයට ගෞරවයක් ලෙස, ඉඹුල්ගොඩ කිරිල්ලවල පොදු සුසාන භූමියේදී මේ යුවළගේ අවසන් කටයුතු එකම මිනී වළක තැන්පත් කර භූමදානය කිරීමට පවුලේ ඥාතීන් කටයුතු යොදා තිබිණි.

newlywed-couple-killed-in-henegama-accident