
මගී ප්‍රවාහනය සඳහා අලුතින් ධාවනයට එක් කෙරුණු මෙට්‍රෝ බස් රථ ඉලක්ක කරගනිමින් ඇතැම් පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන කඩාකප්පල්කාරී අනතුරු මාලාවේ අලුත්ම සිදුවීම පෙරේදා අලුයම වාර්තා විය.ඊට දින තුනකට පෙර මෙට්‍රෝ බස් රථයක පැති කණ්ණාඩියක් හිතාමතාම කඩා දැමූ බව කියන පෞද්ගලික බස් රථයක් විසින්ම යළිත් වරක් තවත් මෙට්‍රෝ බස් රථයක් ගැටීමට සලස්වා ඇත. අලුයම 5.20ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, මිලේනියම් සිටි සිට අතුරුගිරිය හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ CM 02 දරණ මෙට්‍රෝ බස් රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ.
ඊට ගැටී ඇත්තේ අතුරුගිරිය - පිටකොටුව 170 මාර්ගයේ ධාවනය වන NC-9510 දරණ පෞද්ගලික බස් රථයයි.අනතුරින් පසු අදාළ පෞද්ගලික බස් රථය පැය භාගයක පමණ කාලයක් මාර්ගය හරස් කරගෙන සෙසු වාහනවලට ගමන් කිරීමට බාධා කිරීම හේතුවෙන් උදෑසන රාජකාරි සඳහා පිටත්ව ගිය මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ. පළමු දින අදාළ බස් රථය පැති කණ්ණාඩිය කැඩූ අවස්ථාවේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් ඊළග දින මෙවැනි අනතුරක් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවට ආරංචි මාර්ග පෙන්වා දෙයි. මහජන බදු මුදලින් නඩත්තු වන මෙවැනි පොදු දේපළ විනාශ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත්, ඊට සම්බන්ධ බස් මාෆියාවට එරෙහිව පුළුල් පරීක්ෂණයක් පවත්වා දැඩි දඬුවම් ලබාදිය යුතු බවටත් මතයක් නිර්මාණය වී තිබේ.
මෙලෙස ඇතැම් පෞද්ගලික බස් රථ මඟින් මෙට්‍රෝ බස් රථ අනතුරුවලට ලක් කිරීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන පසුබිමක, ඊයේ (08) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් ද මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.
එහිදී අමාත්‍යවරයා දැඩිව අවධාරණය කළේ මෙට්‍රෝ බස් රථ අනතුරට ලක්කරන පුද්ගලයින් සෘජුවම සිදුකරන්නේ ජනතාවගේ පොදු දේපළවලට හානි කිරීමක් බවයි. එලෙස කටයුතු කරන ඇතැම් පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ හිමිකරුවන්ට ඉදිරියේදී බරපතළ නඩු සහ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවන බවද හෙතෙම අනතුරු ඇඟවීය.
මේ වනවිට මෙට්‍රෝ බස් රථ එකසිය ගණනක් ධාවනයට එක්කර ඇති බවත්, අතිවිශාල පෞද්ගලික බස් රථ ප්‍රමාණයකින් ඊට කිසිදු කරදරයක් සිදුවී නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙය සමස්ත පෞද්ගලික බස් හිමියන්ගේ ගැටලුවක් නොවන බවත්, ඉතා සුළු පිරිසක් පමණක් මෙවැනි ක්‍රියාවල නිරත වන බවත් ඔහු සඳහන් කළේය. පොදු දේපළවලට හානි කර අමාරුවේ නොවැටී, රටම පිළිගත් මෙම නව ප්‍රවාහන සේවාවට අනුගත වී හැඩගැසෙන ලෙස අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. තවද, ඉදිරි වසරක් ඇතුළත මෙට්‍රෝ සේවාව පෞද්ගලික අංශයටද විවෘත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

