government-takes-steps-to-standardize-building-codes-islandwide

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික ගොඩනැගිලි සංග්‍රහයක් (National Building Code of Sri Lanka - NBCSL) සම්පාදනය කර ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කර තිබේ. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ දිවයින පුරා ඉදිකෙරෙන ගොඩනැගිලිවල ආරක්ෂාව, ගුණාත්මකභාවය, තිරසර බව සහ ආපදා ඔරොත්තු දීමේ හැකියාව වඩාත් ශක්තිමත් කිරීමයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව ස්ථාපිත කරන ලද තනි ජාතික ගොඩනැගිලි සංග්‍රහයක් ක්‍රියාත්මක නොවේ. වර්තමානයේදී මෙරට ගොඩනැගිලි සැලසුම් කිරීම් සහ ඉදිකිරීම් කටයුතු සඳහා ජාත්‍යන්තර ගොඩනැගිලි සංග්‍රහයන්, යුරෝකෝඩ් (Eurocodes), බ්‍රිතාන්‍ය ප්‍රමිති සහ ඉන්දීය ප්‍රමිති වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් රැසක් භාවිතා වේ. මීට අමතරව දේශීය රෙගුලාසි සහ අංශ වශයෙන් පනවා ඇති විශේෂිත අවශ්‍යතා ද මේ සඳහා යොදා ගැනේ.




බලධාරීන් පෙන්වා දෙන්නේ මෙලෙස ප්‍රමිති කිහිපයක් භාවිතා කිරීම හේතුවෙන් ගොඩනැගිලි සැලසුම් තහවුරු කිරීමේදී, අනුමැතිය ලබා දීමේදී සහ නීති ක්‍රියාත්මක කිරීමේදී යම් යම් පරස්පරතා මතු විය හැකි බවයි. එබැවින් යෝජිත නව ජාතික ගොඩනැගිලි සංග්‍රහය හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූත්, ශ්‍රී ලංකාවේ දේශීය තත්ත්වයන්ට ගැළපෙන්නා වූත් ඒකාබද්ධ රාමුවක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

ගංවතුර, නායයෑම් සහ අධික සුළං වැනි ස්වභාවික ආපදාවලට ශ්‍රී ලංකාව නිරාවරණය වී ඇති බැවින් මෙන්ම විවිධ දේශගුණික, භූ විද්‍යාත්මක සහ පාරිසරික තත්ත්වයන් රට තුළ පවතින බැවින් මෙවැනි රාමුවක අවශ්‍යතාවය වඩාත් වැදගත් වේ. මෙම යෝජිත ජාතික ගොඩනැගිලි සංග්‍රහය මගින් ව්‍යුහාත්මක ආරක්ෂාව, ගිනි ආරක්ෂාව, තිරසරභාවය සහ විශ්වීය ප්‍රවේශය (universal accessibility) ඇතුළු ප්‍රධාන තාක්ෂණික ක්ෂේත්‍ර 10 ක් ආවරණය කරනු ලබයි. එසේම, ගොඩනැගිලි බලපත්‍ර ලබා දීම, පරීක්ෂා කිරීම්, අනුකූලතා තහවුරු කිරීම සහ නීති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික යාන්ත්‍රණයක් ද මේ යටතේ ස්ථාපිත කිරීමට නියමිතය. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයකෝන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 8 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI),




ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ මෙම ව්‍යාපෘති යෝජනාව 2026-2028 කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයකට අනුව 2025 ඔක්තෝබර් 21 වන දින මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ද ලබා දී ඇත. අදාළ රජයේ ආයතන, වෘත්තීය ආයතන, විද්වතුන්, ඉදිකිරීම් කර්මාන්තකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ උපදේශකත්වය මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI), ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යන ආයතනවල ඒකාබද්ධ කළමනාකාරීත්වයෙන් මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කෙරෙනු ඇත.