
මාර්ක් සකර්බර්ග්ගේ සමාජ මාධ්‍ය අධිරාජ්‍යය පිළිබඳ නව චිත්‍රපටයක් බ්‍රිතාන්‍යයේ සිනමාහල්වල ප්‍රදර්ශනය වීමට පෙර, නරඹන්නන්ට පියෙකුගේ වේදනාබර පණිවිඩයක් අසන්නට ලැබේ. ඒ, 2017 වසරේදී වයස අවුරුදු 14දී ජීවිතය අහිමි වූ මොලී රසල්ගේ පියා, ඉයන් රසල්ගේ හඬයි.
සුප්‍රකට තිර රචක ඇරන් සෝකින්ගේ ‘The Social Reckoning’ චිත්‍රපටයට පෙර ප්‍රදර්ශනය වන තත්පර 30ක දැන්වීමකින් ඔහු නරඹන්නන් අමතයි. ඉන්ස්ටග්‍රෑම් හි හානිකර අන්තර්ගත නැරඹීමෙන් පසු මොලී මිය ගියේය. ඉන්ස්ටග්‍රෑම් තම දියණියගේ මරණයට දායක වූ බව තමා වසර ගණනාවක් තිස්සේ කියන බව ඔහු දැන්වීමේදී පවසයි. ඇයගේ මරණයෙන් පසු සිදුව ඇති වෙනස ඉතා අල්ප බවත්, ආරක්ෂාව සහතික කරන බවට දුන් පොරොන්දු අසාර්ථක වී ඇති බවත් ඔහු කියයි.
ඇල්ගොරිතම තවමත් දරුවන් වෙත විෂ සහිත අන්තර්ගත බලහත්කාරයෙන් තල්ලු කරන බව පවසන ඔහු, හානිකර තාක්ෂණය පිළිගත නොහැකි යැයි සහ සකර්බර්ග් වැනි ප්‍රධානීන් වගකිව යුතු යැයි සිතන අයට මොලී රෝස් පදනමට (Molly Rose Foundation – MRF) සහාය දෙන ලෙස ඉල්ලා සිටී. මෙටා වැනි සමාගම් තරුණ පරපුර අනතුරට ලක් කිරීම නැවැත්වීම එම පදනමේ අරමුණයි.
මෙම දැන්වීම Everyman, Curzon, Showcase සහ AMC සිනමාහල්වල ප්‍රදර්ශනය වේ. සිනමා දැන්වීම් සමාගමක් වන Pearl & Dean, MRF වෙත දැන්වීම් ඉඩ නොමිලේ ලබා දීමෙන් අනතුරුවයි මෙය සිදු වන්නේ. නරඹන්නන් අගය කරන්නේ නරඹන දෙයට අදාළ දැන්වීම් බවත්, චිත්‍රපටයට ගැළපෙන ප්‍රචාරණයක් සකස් කිරීමට පදනමේ කණ්ඩායම වෙහෙස වූ බවත් එම සමාගමේ ප්‍රධාන විධායක කැත්‍රින් ජේකබ් සඳහන් කළාය.
Absolute Radio, Kiss සහ Jazz FM යන නාලිකාවල හිමිකරු වන Bauer Media Audio ආයතනයද වෙනම දැන්වීමක් සඳහා MRF වෙත නොමිලේ ඉඩ ලබා දෙයි. එහිදීද හඬ දෙන ඉයන් රසල්, උපදෙස් අවශ්‍ය දෙමාපියන්ට පදනම අමතන ලෙස ඉල්ලා සිටී.
සෝකින්ගේ නව චිත්‍රපටය කේන්ද්‍ර වන්නේ ෆේස්බුක් හෙළිදරව්කාරිය (whistleblower) ෆ්‍රැන්සිස් හෝගන් වටාය. ඉන්ස්ටග්‍රෑම් අන්තර්ගතය යෞවන වියේ ගැහැනු ළමුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑමක් කරන බව පෙන්වූ සමාගමේ අභ්‍යන්තර පර්යේෂණ ඇය හෙළි කළාය. එකල සකර්බර්ග්ගේ සමාගම ප්‍රතිචාර දැක්වූයේ, එම මාධ්‍ය වාර්තා පර්යේෂණයේ සීමිත සොයාගැනීම් කිහිපයක් පමණක් තෝරාගෙන ඒවා නිෂේධාත්මකව ඉදිරිපත් කළ බව පවසමිනි.
සමාජ මාධ්‍ය සමාගම ජනතාවට වඩා විශාල ලාභයට මුල් තැන දුන් බවත්, එය දරුවන්ට හානි කළ බවත්, ප්‍රජාතන්ත්‍රවාදයන් අස්ථාවර කළ බවත් හෝගන් එක්සත් ජනපද කොංග්‍රසය හමුවේ දුන් සාක්ෂියද චිත්‍රපටයේ ඇතුළත් වේ.
ඔස්කාර් සම්මානලාභී මයිකී මැඩිසන් හෝගන්ගේ චරිතය නිරූපණය කරන අතර, සකර්බර්ග් ලෙස රඟපාන්නේ ‘Succession’ කතාමාලාවෙන් ප්‍රසිද්ධියට පත් ජෙරමි ස්ට්‍රෝන්ග්ය. සෝකින් රචනා කළ ‘The Social Network’ චිත්‍රපටයේ අර්ධ අනුප්‍රාප්තිකයක් ලෙස සැලකෙන මෙය වේගවත් හා විනෝදජනක නිර්මාණයක් බව ‘ද ගාඩියන්’ විචාරය පවසයි. ස්ට්‍රෝන්ග්ගේ සකර්බර්ග් නිරූපණය ඉතා සිත්ගන්නා සුළු බව සඳහන් කරන එම විචාරය, ඔහු සිටගෙන සිටින හා වාඩිවන ආකාරය ‘තන්ඩබර්ඩ්’ රූකඩයකට සමාන බවද උපහාසාත්මකව සඳහන් කරයි.
මොලීගේ මරණය පිළිබඳ 2022 දී පැවැත්වූ මරණ පරීක්ෂණය අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් සන්ධිස්ථානයක් විය. මොලී මිය ගියේ විෂාදය සහ අන්තර්ජාල අන්තර්ගතයේ අහිතකර බලපෑම් යටතේ සිටියදී බව මරණ පරීක්ෂකවරයා තීන්දු කළේය. ඇය ඉල්ලා නොසිටි හානිකර අන්තර්ගත ඇල්ගොරිතම මගින් ඇය වෙත තල්ලු කර ඇති බවද එහිදී තීරණය විය.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමි මෙටා සමාගම, විෂාදය ඇතුළු ජීවිතයට හානිකර මාතෘකා සම්බන්ධ අන්තර්ගතවලින් පිරි මාර්ගයක තම දියණිය රැගෙන ගිය බවට එවකට ඉයන් රසල් චෝදනා කළේය.
මොලීගේ පවුලට නීතිමය සමථයක් වෙනුවට මෙටා සමාගම පසුව MRF වෙත පරිත්‍යාගයක් කළේය. මරණ පරීක්ෂණයේ අවස්ථා යළි නිරූපණය කරන ‘Molly vs the Machines’ වාර්තා චිත්‍රපටය මේ වසරේ නිකුත් වූ පසු, තම සිතුවිලි මොලීගේ මිතුරන් හා පවුල සමඟ පවතින බව මෙටා නිවේදනයක් නිකුත් කළේය.
මොලීගේ මරණයෙන් පසු ආරක්ෂක පියවර රැසක් හඳුන්වා දී ඇති බව සමාගම පවසයි. වයස අවුරුදු 18ට අඩු සියලු දෙනාගේ ගිණුම් පෙරනිමියෙන් පුද්ගලික (private) කිරීම, ඔවුන්ට පණිවිඩ එවිය හැක්කේ කාටද යන්න සහ ඔවුන් දකින අන්තර්ගතය සීමා කිරීම ඒ අතර වේ.
මූලාශ්‍රය: ද ගාඩියන්

