police-investigate-underworld-links-of-cricketer-dhananjayas-brother

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හිටපු නායක ධනංජය ද සිල්වාගේ වැඩිමහල් සොහොයුරා වන 37 හැවිරිදි සවිත්‍ර ද සිල්වා හෙවත් "රත්මලාන සංගු" සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීතිවිරෝධී වත්කම් ඉපැයීම හෙවත් මුදල් විශුද්ධිකරණය සහ මිනිස් ඝාතනයකට ආධාර අනුබල දීම ඇතුළු බරපතළ චෝදනා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවටද වාර්තාවේ.




විමර්ශකයන් පෙන්වා දෙන පරිදි, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු මීට පෙර ප්‍රචණ්ඩ අපරාධ සම්බන්ධයෙන් දෙවරක් සිරදඬුවම් විඳ ඇති අයෙකි. ප්‍රදේශයේ පාතාල සාමාජිකයන් හා සම්බන්ධ වූවන් සමඟ රත්මලාන ප්‍රදේශයේදී ඇති වූ ගැටුමක් සහ පිහි ඇනුමක් සම්බන්ධයෙන්ද ඔහු මීට පෙර ගල්කිස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට පත්ව තිබිණි. පසුව ඔහු සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී ඇතැයි විමර්ශකයෝ පවසති. දේශීය මෙන්ම විදෙස්ගත ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් කිහිප දෙනෙකු සමඟ ඔහු සෘජු සබඳතා පවත්වා ඇති බවට සැක කෙරෙන අතර, ප්‍රදේශයේ පුද්ගලයන් යොදාගනිමින් හෙරොයින්, අයිස් (මෙතැම්ෆෙටමින්), කුෂ් සහ හෂීෂ් ප්‍රවාහනය හා බෙදාහැරීම සිදුකර ඇති බවටද අනාවරණය වී ඇත. එම ජාවාරම්වලින් උපයාගත් මුදල් විශුද්ධිකරණය සහ සඟවා තැබීම සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබේ.

මීට අමතරව, පසුගිය අගෝස්තු 01 වැනිදා රත්මලාන ගුවන්තොටුපළ හන්දිය අසල කණ්ඩවල පාරේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා 57 හැවිරිදි ජතුංග ප්‍රියන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට මොහුගේ ආධාර අනුබලයක් හෝ සම්බන්ධයක් ඇත්දැයි යන්න පිළිබඳවද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.




මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවය වෙත ලැබුණු පැමිණිලි සහ තොරතුරු පදනම් කරගනිමින් පොලිස් මූලස්ථානය විසින් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ, සැකකරුට සහ ඔහුගේ අපරාධ ජාලයේ සාමාජිකයන්ට සහාය දැක්වූයේ යැයි කියන පොලිස් නිලධාරීන් ඉලක්ක කරගනිමිනි. දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් හා දේශපාලන සහාය ලබමින් සැකකරු නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරතව ඇති බවටත්, අල්ලස් ලබාගනිමින් ඔහුට සහාය වූ බවට සැක කෙරෙන දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

එම නිලධාරීන් සැකකරුගේ අපරාධ ක්‍රියාකාරකම් තහවුරු කිරීමට තිබූ සාක්ෂි විනාශ කිරීම, සඟවා තැබීම හෝ අහිමි කිරීම මඟින් විමර්ශන කඩාකප්පල් කිරීමට උත්සාහ කළේද යන්න සොයා බැලීම මෙම පරීක්ෂණයේ ප්‍රධාන අරමුණකි. මේ අනුව නිලධාරීන් සහ සැකකරු අතර පැවති සන්නිවේදන, මූල්‍ය ගනුදෙනු මෙන්ම පෙර විමර්ශනවල ලිපිගොනු සහ තොරතුරු හිතාමතා ඉවත් කර ඇත්දැයි යන්නද පොලිස් මූලස්ථානයේ පරීක්ෂාවට ලක්වෙමින් පවතී.



විමර්ශකයන් සතුව ඇති තවත් ප්‍රධාන සාක්ෂියක් වන්නේ සැකකරු සහ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල අපරාධකරුවකු ලෙස හැඳින්වෙන රසල් ස්මිත් අතර සිදුවූ බව කියන දුරකථන සංවාදයක හඬපටයකි. ගිනිඅවි ගනුදෙනු සම්බන්ධයෙන් සිදුවූ බව කියන එම සංවාදයේදී, ටී-56 ගිනිඅවියක් විශේෂ කාර්ය බළකායට හසුවීමෙන් අනතුරුව දේශපාලන බලපෑම් මත නිදහස් කරගැනීම, චෝදනා වසං කිරීම සහ සාක්ෂි විනාශ කිරීම ඇතුළු සිදුවීම් රැසක් පිළිබඳව කතාබහ වන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත්, එම හඬපටයේ කථිකයන්ගේ අනන්‍යතාව, එහි සත්‍යතාව සහ සංවාදයේ සන්දර්භය තවමත් පරීක්ෂා කරමින් පවතින අතර, එහි සඳහන් ගනුදෙනුවල නිශ්චිත ස්වභාවය විමර්ශකයන් විසින් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.

මෙම බරපතළ අපරාධ චෝදනා හේතුවෙන් සැකකරුගේ සහෝදරයා වන ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රීඩා වෘත්තියටද බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වේ. මීට පෙරද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පවුල්වල සාමාජිකයන් මෙවැනි නීතිමය ගැටලුවලට මුහුණ දී ඇති අතර, හිටපු නායක අර්ජුන රණතුංගගේ සහෝදර ධම්මික රණතුංග රජයේ තෙල් ටෙන්ඩර් දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම සහ ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීම ඊට උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. ධනංජය ද සිල්වා පසුගියදා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටියි.

police-investigate-underworld-links-of-cricketer-dhananjayas-brother