minister-investigates-three-sri-lankans-serving-15-year-sentences-in-azerbaijan

ව්‍යාජ රැකියා නියෝජිතයකුගේ වංචාවකට හසුවී අසර්බයිජානයේ වසර 15ක සිරදඬුවමක් විඳිමින් සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනකු නිදහස් කරගැනීම කෙරෙහි එරට රජයේ අවධානය යොමුව තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ අසර්බයිජාන ජනාධිපති ඉල්හැම් අලියෙව් මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාව හිමිව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.




ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැඟීමේ පියවර පිළිබඳ සමුළුවට (CICA) සහභාගි වීම සඳහා අසර්බයිජානයට ගිය අවස්ථාවේදී ඇමැතිවරයා එරට ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව කරුණු අනාවරණය කර ඇත. අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයකු ඇතුළු මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වය එහිදී ඇමැතිවරයා විසින් පෙන්වා දී තිබේ.

මෙම සිදුවීමට මුල් වී ඇත්තේ විදේශ රැකියා සිහිනයයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම තිදෙනා අසර්බයිජානයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකුට විශාල මුදලක් ලබා දී ඇත්තේ ඔහු රැකියා නියෝජිතයකු ලෙස පෙනී සිටිමින් එරට රැකියා ලබාදෙන බවට වූ පොරොන්දුව නිසාවෙනි. එහෙත් එම පොරොන්දුව විශ්වාස කරමින් අසර්බයිජානයට ගිය ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ බලාපොරොත්තු නොවූ තත්ත්වයකටය. මුදල් ලබාගත් ව්‍යාජ රැකියා නියෝජිතයා ඔවුන් මඟහැර අතුරුදන් වී තිබේ.




පසුව වෙනත් දිනෙක මෙම තිදෙනාට අදාළ ව්‍යාජ රැකියා නියෝජිතයා මුණගැසී ඇති අතර, එහිදී ඇති වූ බාධා කිරීම් සහ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග ගොස් පහරදීමක් සිදුව තිබේ. එම සිදුවීම හේතුවෙන් 2022 වසරේදී අසර්බයිජාන බලධාරීන් විසින් මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන සිරගත කර ඇත. මේ වන විට ඔවුන්ට වසර 15ක සිරදඬුවමක් නියම වී ඇති අතර, සිදුවීමෙන් පසු අදාළ ව්‍යාජ රැකියා නියෝජිතයා යළිත් අතුරුදන්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී වංචාවකට ලක්වීම හේතුවෙන් සිරගත වීමට සිදුවූ ලාංකිකයන්ට සහනයක් සලසා ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඇමැති විජිත හේරත් මහතා අසර්බයිජාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් අදාළ නඩුව නැවත සමාලෝචනය කිරීමට අසර්බයිජාන බලධාරීන් මේ වන විට එකඟතාව පළකර තිබේ.