මෙරටට ගෙන්වනු ලබන මගී මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා භාවිත කෙරෙන නියුමැටික් ටයර් සම්බන්ධයෙන් නව තත්ත්ව පාලන හා ප්‍රමිතිකරණ නීති මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම නව නියෝග 2027 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට සම්පූර්ණයෙන්ම බලාත්මක වනු ඇත.
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත මගින් පැවරී ඇති බලතලවලට අනුව, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අදාළ නියෝග පනවා ඇත. ඒ අනුව, 2024 වසරේ මැයි මාසයේදී පනවන ලද ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන රෙගුලාසි සංශෝධනය කරමින් 2026 ඔක්තෝබර් 01 දිනැති අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
නිකුත් කරන ලද නව සංශෝධන යටතේ, පවතින රෙගුලාසිවල ‘B’ උපලේඛනය සඳහා අලුතින් ආනයනික ටයර් කාණ්ඩ දෙකක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. නියම කර ඇති නව ප්‍රමිතීන්ට අනුව, මගී මෝටර් රථ ටයර් (HS සංකේතය 4011.10.90) අනිවාර්යයෙන්ම SLS 1212 ප්‍රමිතියට අනුකූල විය යුතු අතර, ත්‍රිරෝද රථ සඳහා ගෙන්වන නියුමැටික් ටයර් (HS සංකේතය 4011.90.10) SLS 1347 ප්‍රමිතියට අනුකූල වීම අනිවාර්ය කර ඇත.
මෙම නව නීතිරීති සහ ප්රමිතීන්, 2027 ජනවාරි මස 01 වැනි දින හෝ ඉන් පසුව දිවයිනේ ඕනෑම ගුවන්තොටුපළකට මෙන්ම වරායකට ළඟා වන ඉහත කී කාණ්ඩවලට අයත් සියලුම ආනයනික භාණ්ඩ සඳහා අදාළ කෙරෙන බව අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.