බ්‍රිතාන්‍යයේ හර්ට්ෆර්ඩ්ෂයර් හි පෞද්ගලික පාසලක සේවය කළ ගුරුවරියකට තම ශිෂ්‍යයෙකුව ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත වසර හතක සිරදඬුවමක් නියම වී තිබේ. ඩෙබොරා ෆ්‍රෑන්ක්ලින් නම් මෙම 65 හැවිරිදි ගුරුවරිය විසින් වයස අවුරුදු 14 ට අඩු පාසල් සිසුවෙකුව සිය නිදන ඇඳෙහි ගැටගසා, දෑස් බැඳ මෙලෙස අපයෝජනය කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
මෙම අපරාධ මාලාව 1991 සහ 1995 යන වසර අතර කාලයේදී සිදුව ඇති අතර, වින්දිතයා මුලින්ම ඇයව හඳුනාගෙන ඇත්තේ ඇයගේ පන්තියට ඇතුළත් වූ අවස්ථාවේදීය.අනතුරුව ඇය ඔහුගේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරිය බවට පත්වෙමින් ඔහුව ක්‍රමානුකූලව මෙම අපයෝජනයන් සඳහා පොළඹවාගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට 40 වැනි වියේ පසුවන වින්දිතයා ප්‍රකාශ කළේ, ඇය තමන්ව ඇඳට තබා ගැටගසා දෑස් බැඳ දැමූ බවත්, ඒ මොහොතේ සිදුවන්නේ කුමක්දැයි තමාට කිසිදු අවබෝධයක් නොතිබුණු බවත්ය. ඔහුට වයස අවුරුදු 13 සම්පූර්ණ වීමට පෙර මේ පිළිබඳව තම පියාට පැවසුවද, එවකට පැවැත්වීමට නියමිතව තිබූ ආගමික උත්සවයකට (bar mitzvah) බාධාවක් වේ යැයි සිතා පියා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.
මෙම සිදුවීම නීතිය ඉදිරියට පැමිණියේ 2024 වසරේදී වන අතර, සැකකාරිය තවමත් ගුරු වෘත්තියේ නියැලෙන බව වින්දිතයාට දැනගන්නට ලැබීමෙන් පසු ඔහු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප රැසක් තිබියදීත් ඇය මුලින්ම පොලිසියට ප්‍රකාශ කර තිබුණේ තමාට ඔහු පිළිබඳව කිසිදු මතකයක් නොමැති බවයි. කෙසේ වෙතත්, බරපතල අශෝභන ක්‍රියා අටක් සම්බන්ධයෙන් ජූරිය විසින් ඇයව ඒකමතිකව වරදකරු කරනු ලැබීය. මෙම සිදුවීම් සිදුවූ කාල වකවානුවේ පැවැති නීතියට අනුව එක් චෝදනාවකට ලබා දිය හැකි උපරිම දඬුවම වූ වසර දෙකක සිරදඬුවම යටතේ,
සෙන්ට් ඇල්බන්ස් ක්‍රවුන් අධිකරණයේ විනිසුරු කම්රාන් චෞද්‍රි විසින් ඇයට වසර හතක සිරදඬුවම් නියම කරන ලදී. 1997 වසරේදී අදාළ නීතිය වෙනස් කරමින් මෙවැනි වරදක් සඳහා ලබා දෙන උපරිම දඬුවම වසර 10ක් දක්වා වැඩි කර තිබුණද, මෙම නඩුව සඳහා පැරණි නීතිය අදාළ කරගැනීමට සිදු විය. දරුවෙකුට මඟ පෙන්විය යුතු ගුරුවරියක ලෙස තම ලිංගික තෘප්තිය වෙනුවෙන් ඇය සිදු කර ඇත්තේ විශ්වාසය බරපතල ලෙස කඩ කිරීමක් බව විනිසුරුවරයා එහිදී අවධාරණය කළේය. මීට අමතරව, සිරමැදිරියෙන් නිදහස් වීමෙන් පසු වසර දහයක කාලයක් සඳහා ඇයට මහජන ආරක්ෂක නියෝගයක් පනවා ඇති අතර, දරුවන් සමඟ කටයුතු කරන කිසිදු රැකියාවක නිරත වීමද ඇයට තහනම් කර ඇත. පැමිණිල්ල මෙහෙයවූ නීතිඥ ගේවින් පොටින්ගර් විසින් වින්දිතයාගේ ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මෙම අපයෝජනය තමාගේ ජීවිතය පුරාවටම නිරන්තර සෙවණැල්ලක් ලෙස පැවති බවත්, එය දැඩි කාංසාව සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති කිරීමට හේතු වූ බවත් ඔහු පවසා තිබුණි. "මට මගේ අහිමි වූ ළමා කාලය ගැන අඬන්න අවශ්‍යයි" යනුවෙන් වින්දිතයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
