අද (7) දින අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මින් ඉහත විදෙස්ගතව සිට එද්දී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වීමෙන් වළකාගැනීම සඳහා නීතීඥයින් මාර්ගයෙන් ඇප අයදුමක් ඉදිරිපත් කර තිබුණ අතර සිය අපේක්ෂිත ඇප අයදුමට සහාය වන කරුණු ලෙස 73 හැවිරිදි තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඇය විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ, වසර කිහිපයක් පුරා ඇයට සිදුකර ඇති හෘද පරීක්ෂණ, රෝහල්ගත වීම් සහ ලබාගන්නා ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වේ.
ඇයගේ දිවුරුම් ප්‍රකාශය අනුව, ඇයගේ හෘද රෝගී තත්ත්වය පිළිබඳ පළමු වාර්තාව 2019 වසර දක්වා දිව යයි. 2019 සැප්තැම්බර් 7 වැනිදා නවලෝක රෝහලේදී සිදුකළ CT Coronary Angiogram පරීක්ෂණයකදී, හෘදයට රුධිරය සපයන ප්‍රධාන කිරීටක ධමනි තුනේම plaque තැන්පත්වීම් සහ සුළු පටුවීම් හඳුනාගෙන ඇති අතර, එම තත්ත්වය "Triple Vessel Disease" ලෙස වෛද්‍ය වාර්තාවල සටහන් වී තිබේ. ඊට අමතරව අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ඉහළ යාමද තමා මුහුණ දෙන රෝගී තත්ත්ව අතර ඇති බව ඇය සඳහන් කර ඇත.
මෙම වසරේ සැප්තැම්බර් 15 වැනිදා ඔක්කාරය, අධික වෙහෙස, කරකැවිල්ල සහ ශාරීරික අපහසුතාව හේතුවෙන් තමා නැවත නවලෝක රෝහලට ඇතුළත් වූ බවත්, එහිදී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා යටතේ ප්‍රතිකාර ලබාගත් බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයට දන්වා තිබේ. එම අවස්ථාවේදී ඇයට ඇතිවූ කරකැවිල්ල Vertigo තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති අතර, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ දියවැඩියාව ද පවතින බව වෛද්‍ය වාර්තාවල සටහන් වී ඇති බව ඇය ප්‍රකාශ කර ඇත. ඒ සඳහා Aspirin, Crestor සහ Nebivolol ඇතුළු ඖෂධ ලබාදී තිබූ බවද දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.
ඉන් අනතුරුව සිංගප්පූරුවේදී සිදුකළ වැඩිදුර හෘද පරීක්ෂණවලදී, සැප්තැම්බර් 21 වැනිදා ඇයගේ Total Coronary Calcium Score අගය 1022ක් ලෙස වාර්තා වූ බව ඇය අධිකරණයට කියා සිටියි. හෘද ධමනිවල කැල්සියම් තැන්පත්වීමේ ප්‍රමාණය මනින මෙම අගය 400 ඉක්මවීම පවා වෛද්‍ය විද්‍යාත්මකව ඉහළ අවදානම් මට්ටමක් ලෙස සැලකේ. එමෙන්ම ගෙලෙහි පිහිටි carotid ධමනි ප්‍රදේශයේද කැල්සියම් සහිත plaque තැන්පත්වීමක් පවතින බව එම පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත. ඒ අනුව හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිනේෂ් නායර් මහතා ඇයට ඖෂධ නියම කර ඇති අතර, පපුවේ වේදනාවක් ඇතිවුවහොත් වහාම භාවිත කිරීම සඳහා Nitromint Spray ද ලබාදී ඇති බව දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.
තමාට දිගින් දිගටම විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය සහ ප්‍රතිකාර අවශ්‍ය බවත්, එවැනි ප්‍රතිකාර නොලැබුණහොත් තම ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය හමුවේ අවධාරණය කර තිබිණි.
ඒ අතරම, වසර දහයක පමණ කාලයක් තිස්සේ තමා මෙම විමර්ශනයට සහාය දී ඇති බවත්, අධිකරණය විසින් පනවනු ලබන ඕනෑම කොන්දේසියකට යටත් වීමට සූදානම් බවත් ඇය සිය අපේක්ෂිත ඇප අයදුමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
ඇය මෙතරම අවදානමක් තිබියදී සිංගප්පූරුවේ සාප්පු සවාරි තනිව යැවීම අනුමත කළ නොහැකි බවට දේශපාලන රසික රසිකාවියන් අදහස් පළ කර තිබුණි. අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇයට ඇප ලැබෙන්නටද ඉඩ තිබෙන අතර නඩු කටයුත්ත ඉදිරියට ගෙනයනු ඇත. සිංගප්පූරුවේ සාප්පු සවාරි දර්ශන මේ සමග පළවේ.




