
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් උන්වහන්සේගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුම් අන්දවා තිබියදීය. මේ අතර, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පෙරටු කොටගත් මහා සංඝරත්නයද අද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.
ගිහි ඇඳුම් අන්දවා ඥානසාර හිමි අද උසාවි ගෙනෙද්දී ඊට විරෝධය පා මහාචාර්ය කොටපිටියේ හිමි පෙරටු කොටගෙන මහා සංඝරත්නයත් උසාවි ඇවිත් තිබුණි. ඥානසාර හිමියන් අද (7) නැවත අධිකරණයට ඉදිරිපත් කළේ, ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09ක සිරදඬුවමක් නියම වූ නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් අනුවයි. අද දිනයේත් ගිහි ඇඳුමින් හිමි නම උසාවියට රැගෙන විත් තිබුණි. ගිහි ඇඳුම් ඇන්දවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත් පියවර මේ වන විට මතභේදයකට තුඩු දී තිබේ.එම ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් අද පෙරවරු 9.00ට කොළඹ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට කොටපිටියේ හිමි සැලසුම් කර තිබූ නමුත් දර්ශන වලින් පෙනී ගියේ හිමිවරු කණ්ඩායමක් උසාවි පරිශ්‍රයට ඇතුළුවන අයුරුයි.කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ප්‍රධාන ලේඛකාධිකාරී, සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහාපණ්ඩිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමි සිය සංඝ සභාව වෙනුවෙන් ඊයේ මේ ගැන නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක සෙනක පල්ලෙතැන්න මහතා පවසා සිටියේ, බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ රැඳවියන් බන්ධනාගාරයෙන් නිකුත් කරන නිල ඇඳුම ඇඳිය යුතු බවට පවතින රෙගුලාසි අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. සිරගත කර සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් වන නීතිමය විධිවිධාන මෙන්ම, රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු බන්ධනාගාර රීති ද ඒ අයුරින්ම අනුගමනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

