දේශපාලන කරළියේ මෙන්ම මහමග ගැටුම්වලදී ද නිතර කතාබහට ලක්වූ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ නවතම භූමිකාව මේ වනවිට නීතිය ඉදිරියේ හෙළිදරව් වෙමින් පවතී. ඒ, පාතාලය හා සබඳතා පවත්වමින් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ ගණනාවක සිදුකළ බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙනි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පෙරේදා (05) රාත්‍රියේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක හෙවත් සමාජ ශාලාවක සිදුකළ විශේෂ මෙහෙයුමකදී කහඳගම අත්අඩංගුවට පත්විය. මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේය.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව, ඔහු ඉබ්බගේවත්තේ සුජී නමැති පාතාල නායකයා සමග එක්ව දීර්ඝ කාලයක සිට මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත. කෙසේ වෙතත්, රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් ලබාගෙන ඒ සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් කහඳගමට කොස්ගොඩ සුජීගෙන් දැඩි මරණ තර්ජන එල්ල වී තිබූ බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ. කොස්ගොඩ සුජී විසින් ඔහුට එල්ල කළ එම මරණ තර්ජන ඇතුළත් හඬපට රැසක් ද මේ වනවිට පොලිසිය විසින් සොයාගෙන ඇත.
කහඳගම අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සමග තවත් පුද්ගලයෙකු ද සිට ඇති අතර, ඔහු මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වාර්තා වන ආකාරයට ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනාවක් පවතින අතර, ඊට අදාළ නඩුව මේ දිනවල කුරුණෑගල අධිකරණයේ විභාග වෙමින් පවතී.
පොලිසිය පවසන පරිදි විවිධ චෝදනාවලට ලක්වූ පුද්ගලයකු වන කහඳගම, කොළඹ දේශපාලනය තුළ විවිධ භූමිකා නිරූපණය කළ අයෙකි. පදික වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයකු ලෙස කටයුතු කළ ඔහු, කලක් පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස ද තේරී පත්විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ආධාරකරුවකු ලෙස කාලයක් කටයුතු කළ ඔහු, පසුව පක්ෂය මාරු කරමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමේ සටනට ද එක්ව සිටියේය.
ඔහුගේ දේශපාලන ගමන්මගේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වූයේ පසුගිය සමයේ ගාලුමුවදොර පිටියේ පැවති අරගලයට එල්ල වූ ප්‍රහාරයත් සමගිනි. අරගලයට පහරදීමේ සිද්ධියේ පෙරමුණ ගෙන කටයුතු කළ පුද්ගලයකු ලෙස ඔහුට චෝදනා එල්ල වූ අතර, ඉන් අනතුරුව කිසියම් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ ඔහු යට ඇඳුම් පිටින් මහමග බඩගාගෙන යන වීඩියෝවක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
මත්ද්‍රව්‍ය චෝදනා මත යළිත් වරක් නීතියේ දැලට කොටුවී සිටින මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් මේ වනවිට නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ඔවුන් සම්බන්ධයෙන් දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කර ඇති අතර, මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුගෙන් තවදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

