ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් දෑතින් තුරුළු කරගත් ප්‍රියංකා ගාන්ධි වඩ්රා මහමඟ දිගා වී සිටියදී, දිල්ලි පොලිසියේ නිලධාරීන් විසින් රාහුල් ගාන්ධිව ඔසවාගෙන ගොස් පොලිස් බස් රථයකට දමන දර්ශනය 2026 ඔක්තෝබර් 7 වැනිදා දිල්ලියේ වින්ඩ්සර් පෙදෙසේදී දැකගත හැකි විය. මෙය ඉන්දීය මැතිවරණ කොමිසමට එරෙහිව විපක්ෂයේ 'INDIA' සන්ධානය දියත් කළ දැවැන්ත විරෝධතාවේ උච්චතම අවස්ථාවයි.
ඔක්තෝබර් 7 දින පස්වරුවේ කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ සංවිධානය කළ සහයෝගිතා දිවා භෝජනයකින් පසු මන්ත්‍රීවරුන් ජන්තර් මන්තර් විරෝධතා භූමිය බලා යමින් සිටියදී පොලිසිය ඔවුන්ව අවහිර කළේය. එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර මුම්ටාස් පටෙල් පොලිස් බස් රථයේ බොනට්ටුව මත නැඟී විරෝධය පළ කළ අතර, ටී.එම්.සී. මන්ත්‍රීවරියක වන මුවා මොයිත්‍රා පොලිසිය අතින් තමන්ට සිදුවූ බව කියන තුවාලයක් ප්‍රදර්ශනය කළාය. "මැතිවරණ කොමසාරිස්වරුන් හමුවීමට ඉල්ලන මන්ත්‍රීවරුන්ට ඔවුන් සලකන්නේ මෙහෙමයි. පොලිස් නිලධාරීන් මාව සූරා තුවාල කර බිමට ඇද දැම්මා," ප්‍රියංකා චෝදනා කළාය.
රාහුල් ගාන්ධිව බරඛම්බා පොලිසියටත්, ප්‍රියංකා ඇතුළු පිරිස ඡත්‍රසාල් ක්‍රීඩාංගණයටත් ගෙන ගොස් රඳවා තබා රාත්‍රී 8 න් පසු මුදා හැරිණි. මෙය නිවාරණ රඳවා ගැනීමක් පමණක් වූ අතර කිසිවෙකුත් රිමාන්ඩ් භාරයට පත් නොවීය. රොයිටර් වාර්තා කළ පරිදි මෙය දින දෙකක් ඇතුළත ඔවුන්ව රඳවා ගත් තෙවැනි අවස්ථාවයි. මීට පෙර දින (ඔක්. 6), පාර්ලිමේන්තුවේ සිට මැතිවරණ කොමිසම දක්වා ගමන් කළ මන්ත්‍රීවරුන් 250 කට ආසන්න පිරිසක් පොලිස් බාධක මැද අසල පිහිටි 'ආකාශ්වානි භවන්' පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වී පැය 7 ත් 9 ත් අතර කාලයක් රැඳී සිටියහ. ඒ සම්බන්ධයෙන් රාහුල් සහ ප්‍රියංකා ඇතුළු පිරිසට එරෙහිව පොලිසිය ප්‍රථම තොරතුරු වාර්තාවක් (FIR) ගොනු කළේය. "මට එරෙහිව වැටෙන සෑම FIR එකක්ම මට පදක්කමක්. මට එරෙහිව FIR 45 ක් තියෙනවා, මගේ ඉලක්කය එය 100 දක්වා ගෙන යාමයි," යනුවෙන් රාහුල් ඊට නොබියව ප්‍රතිචාර දැක්වීය.
විපක්ෂය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර්ගේ ඉල්ලා අස්වීම බලකරමින් මෙලෙස විරෝධතාවල නිරත වන්නේ 2025 ජුනි මාසයේ ඇරඹි ඡන්දදායක නාමලේඛන සංශෝධන ක්‍රියාවලිය (SIR) හරහා සිදුවූ බව කියන "ඡන්ද සොරකමක්" මුල්කරගෙනය. බී.බී.සී. වාර්තාවලට අනුව, කෙටුම්පත් ලැයිස්තුවලින් මේ වන විට නම් මිලියන 130 කට අධික ප්‍රමාණයක් ඉවත් කර තිබේ. ඔඩීෂා ප්‍රාන්තයේ පමණක් නම් ලක්ෂ 27.5 ක් කපා හැර ඇති බවට විරෝධතාවට එක්වූ BJD පක්ෂය චෝදනා කළේය. මේ අතර, කොමිසමේ තීරණ තම දැනුවත්භාවයකින් තොරව ගන්නා බව පවසමින් මැතිවරණ කොමසාරිස්වරුන් වන සුඛ්බීර් සිං සන්ධු සහ විවේක් ජෝෂි 14 වතාවක් ලිඛිතව විරෝධය පළ කර ඇති බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත අනාවරණය කළේය. කොමිසම පැවසුවේ සියලු තීරණ ඒකමතිකව ගත් බවයි.
මැතිවරණ කොමිසම සහ භාරතීය ජනතා පක්ෂය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරති. විරෝධතාකරුවන් ව්‍යවස්ථාදායක ආයතනයකට පහර දෙමින් අරාජිකත්වය හරහා බලය වෙනස් කිරීමට උත්සාහ කරන බව BJP මන්ත්‍රී සම්බිත් පත්‍රා පැවසීය.
දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් තුනෙන් දෙකක බහුතරයක් නොමැති පසුබිමක, කොංග්‍රසයේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ ප්‍රධාන කොමසාරිස්වරයා ඉවත් වීම, SIR ක්‍රියාවලිය අවලංගු කිරීම සහ යළි කඩදාසි ඡන්ද පත්‍රිකා ක්‍රමයට යාමයි. අග්‍රාමාත්‍ය මෝදි, අමිත් ෂා සහ මෝහන් භගවත් යන අයගේ නම් සඳහන් කරමින් මෙය පාලක පක්ෂයේ 'බිය' හේතුවෙන් සිදුවන්නක් බව රාහුල් ගාන්ධි මුදාහැරීමෙන් පසු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු හමුවීමට අවස්ථාව ඉල්ලා ඇති INDIA සන්ධානය, ඔක්තෝබර් 8 වැනිදාත් අඛණ්ඩව වීදි බැසීමට තීරණය කර තිබේ.

