man-who-abused-4-year-old-girl-in-australia-by-tricking-her-into-giving-him-watermelon-gets-10-years-in-prison

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ (Northern Territory) ඩාර්වින් නගරයේ ආදිවාසී ජනාවාසයක (town camp) ක්‍රීඩා කරමින් සිටි වයස අවුරුදු හතරක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ නැතැනියෙල් ෆැරල් (34) නම් පුද්ගලයාට වසර 10ක සිර දඬුවමක් නියම වී තිබේ. වසර හතක් ගත වන තුරු ඔහුට පැරෝල් සඳහා ඉල්ලුම් කළ නොහැක.




පසුගිය වසරේ ජූනි මාසයේ සිදු වූ මෙම අපරාධය සම්බන්ධ නඩු තීන්දුව පසුගිය සතියේ උතුරු ප්‍රදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශයට පත් විය. එතෙක් මෙම සිදුවීම මාධ්‍ය අවධානයට ලක්ව තිබුණේ නැත.

අධිකරණයට ඉදිරිපත් වූ තොරතුරුවලට අනුව, තවත් කුඩා දරුවෙකු සමඟ සෙල්ලම් කරමින් සිටි දැරියට කොමඩු ගෙඩියක් දෙන බව පවසා චූදිතයා ඇයව අසල නිවසකට රැගෙන ගොස් තිබේ. බියට පත්ව හඬමින් ආපසු පැමිණි දැරිය සිදු වූ දේ තම මවට පවසා ඇත. දැරිය අතුරුදන් වූ බව දැනගත් මව ඒ වන විටත් පොලිසියට දැනුම් දී තිබුණි. පසුව කළ DNA පරීක්ෂණයකින් චූදිතයා හඳුනාගත් අතර, ඔහු චෝදනාවට වරද පිළිගත්තේය. දැරියගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා සිදුවීම වූ ජනාවාසයේ නම හෙළි කර නැත.




නඩු තීන්දුව ප්‍රකාශ කළ අගවිනිසුරු මයිකල් ග්‍රාන්ට් පැවසුවේ, මෙය ඉතා කුඩා හා අසරණ දරුවෙකුට එරෙහිව කළ බරපතළ අපරාධයක් බවත්, එය දැරියට හා ඇගේ පවුලට විනාශකාරී බලපෑමක් ඇති කර ඇති බවත්ය.

මෙය චූදිතයාගේ පළමු ලිංගික වරද වුවද, ඔහුට දිගු අපරාධ ඉතිහාසයක් ඇත. බරපතළ තුවාල සිදු කිරීම, පොලිසියට පහර දීම, ගෘහස්ථ හිංසන ආරක්ෂක නියෝග කඩ කිරීම එයට අයත් වේ. 2021 දී මින්යෙරි ප්‍රජාවේදී තම සහකාරියට ලෝහ කූරකින් පහර දී ඇගේ අතේ අස්ථි දෙකක් බිඳ දැමීම සම්බන්ධයෙන් ඔහුට වසර තුනක සිර දඬුවමක් ලැබී තිබුණි.



සිරගෙදරදී පහරදීම්වලට ලක් වේ යැයි ඇති බිය නිසා ඔහු "අවදානම් සහිත සිරකරුවෙකු" ලෙස සලකන ලෙස විත්තිය ඉල්ලා සිටියේය. විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඔහු පැවසුවේ එය බන්ධනාගාර බලධාරීන් තීරණය කළ යුතු කරුණක් බවයි.

ආදිවාසී ජනාවාසවල ළමා ආරක්ෂාව ගැන ඕස්ට්‍රේලියාවේ දැඩි අවධානයක් ඇති වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේ ඇලිස් ස්ප්‍රිංග්ස් හි සිදු වූ සිදුවීමකින් පසුවය. එහිදී කුමන්ජායි ලිට්ල් බේබි නම් පස් හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා ලැබූ ජෙෆර්සන් ලුවිස් (47) තවමත් අත්අඩංගුවේ පසුවේ.