hundreds-quarantined-due-to-mysterious-infectious-disease-spreading-in-russia

රුසියාවේ ප්ලේගය (plague) ඇතුළු බෝවන රෝග පිළිබඳ පර්යේෂණ සිදුකරන ආයතනයක සේවය කළ කාන්තාවක් හෙළි නොකළ රෝගී තත්ත්වයකින් මියයාමෙන් පසු පුද්ගලයන් සිය ගණනක් නිරෝධායනයට ලක්කර තිබෙන බව වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ශෙලෙකොව් නගරයේ පිහිටි සයිබීරියානු ඉර්කුට්ස්ක් ප්ලේග විරෝධී පර්යේෂණ ආයතනයේ සේවය කළ 28 හැවිරිදි රසායනාගාර තාක්ෂණික නිලධාරිනියකි.

රුසියාවේ බෝවන රෝග සම්බන්ධයෙන් කටයුතු කරන රොස්පොට්‍රෙබ්නැඩ්සෝර් (Rospotrebnadzor) ආයතනයට අනුව, “නොදන්නා” මූලාරම්භයක් සහිත නියුමෝනියා තත්ත්වයක් ඇයට හඳුනාගෙන තිබූ අතර ඉන් පසුව ඇය මියගොස් තිබේ. ප්‍රාදේශීය මාධ්‍ය ඇය දාරියා ෂිපිලෝවා ලෙස හඳුන්වා ඇති අතර, ඇයගේ මරණය පසුගිය සතියේදී නිලධාරීන් විසින් තහවුරු කර තිබිණි.




කෙසේ වෙතත්, ඇයගේ මරණය සහ ඇයගේ වෘත්තීය කටයුතු අතර සම්බන්ධයක් ඇති බවට පළවන අදහස් රොස්පොට්‍රෙබ්නැඩ්සෝර් ආයතනය අවම කර පෙන්වා තිබේ. “රෝගියාගෙන් ලබාගත් සාම්පලවල සේවිකාවගේ වෘත්තීය රාජකාරි සමඟ සම්බන්ධ කිසිදු ක්ෂුද්‍ර ජීවියකු අනාවරණය වී නැහැ,” යනුවෙන් එම ආයතනය සඳහන් කර ඇති අතර, කලාපයේ “වසංගතවේදී තත්ත්වය” ස්ථාවර බවද ප්‍රකාශ කර තිබේ. එසේ වුවද, රොස්පොට්‍රෙබ්නැඩ්සෝර් ප්‍රධානී ඈනා පොපෝවා සිකුරාදා ඉර්කුට්ස්ක් වෙත ගොස් ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාර ඉගෝර් කොබ්සෙව් සඳහන් කළේය. ඔහු ටෙලිග්‍රෑම්හි සඳහන් කර තිබුණේ එය, “කලාපයේ පදිංචිකරුවකුට බලපා ඇති විශේෂයෙන් භයානක ආසාදනයක් බවට සැක කෙරෙන සිද්ධියක්” සම්බන්ධයෙන් කැඳවූ ප්‍රාදේශීය වසංගත විරෝධී කොමිසමේ විශේෂ රැස්වීමක් බවයි.

මොන්ගෝලියානු දේශසීමාව ආසන්න නැගෙනහිර රුසියාවේ ශෙලෙකොව්ස්කි දිස්ත්‍රික්කයේ නගරාධිපති මැක්සිම් මොඩින් පැවසුවේ ප්‍රාදේශීය බලධාරීන් “පුළුල් වසංගත විරෝධී ක්‍රියාමාර්ග මාලාවක්” ක්‍රියාත්මක කරමින් සිටින බවයි. සේවිකාවට ප්‍රතිකාර කළ රෝහලේ නේවාසික ප්‍රතිකාර අංශය නිරෝධායනයට ලක්කර ඇති අතර, එහි දෙපාර්තමේන්තු කිහිපයක රෝගීන් නිදහස් කිරීම සහ නව රෝගීන් ඇතුළත් කිරීම නවතා දමා තිබේ. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා අනුව කලාපයේ තවත් රෝහල් ද වසා දමා ඇත. පසුගිය දින 10 තුළ අදාළ පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය අතර කිසිදු බෝවන රෝගයක් වාර්තා වී නොමැති බවත්, මියගිය සේවිකාව සමඟ මෑතකදී සම්බන්ධ වූ සියලුදෙනා පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂාවන්ට ලක්කරමින් සිටින බවත් මොඩින් පැවසීය. සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික ප්‍රජා පිරිසිදු කිරීමේ වැඩසටහනද ඉර්කුට්ස්ක් බලධාරීන් විසින් අවලංගු කර ඇති අතර, ප්‍රාදේශීය මාධ්‍ය එම තීරණය මෙම සිද්ධිය සමඟ සම්බන්ධ කර වාර්තා කර තිබේ. ස්වාධීන ප්‍රාදේශීය පුවත් ආයතනයක් වන ‘ලියුඩි බයිකාලා’ ඇතුළු නිල නොවන වාර්තාවලින් පැවසෙන්නේ පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් නිරීක්ෂණය යටතේ සිටින බවයි.




සඳුදා CNN විසින් පර්යේෂිකාව සේවය කළ ආයතනය දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ එම ආයතනය සිද්ධිය පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළකී තිබේ. ආයතනයේ වෙබ් අඩවියට අනුව එහි පර්යේෂකයන් 95ක් පමණ සේවය කරන අතර, සයිබීරියාව සහ රුසියාවේ ඈත පෙරදිග කලාපය පුරා ඉහළ අවදානම් සහිත බැක්ටීරියා හා වෛරස් ආසාදන පැතිරීම් නිරීක්ෂණය කිරීම සහ වැළැක්වීම සඳහා වගකීම දරන ප්‍රධාන මහජන සෞඛ්‍ය ආයතනයක් ලෙස එය ක්‍රියා කරයි. ප්‍රදේශයේ පදිංචිකාරියක වන එකතරීනා CNN වෙත සඳුදා පැවසුවේ නගරයේ දෘශ්‍යමාන වෙනසක් නොමැති වුවත් ප්‍රදේශවාසීන් කනස්සල්ලෙන් සිටින බවයි. “මගේ හඳුනන අය ටිකක් කලබල වෙලා,” ඇය පැවසුවාය. නම හෙළි කිරීමට අකමැති වූ තවත් පදිංචිකරුවකු පැවසුවේ මෙම පුවතෙන් තමන් “කම්පනයට” පත්වූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය නිකුත් කළ එකම ප්‍රකාශයේදී ජනතාව නිල ආයතනයේ ප්‍රකාශ කෙරෙහි පමණක් විශ්වාසය තැබිය යුතු බව සඳහන් කර තිබේ. “විවිධ කටකතා සහ අනුමානවලට සවන් දෙනවා වෙනුවට රොස්පොට්‍රෙබ්නැඩ්සෝර් ආයතනයේ නිල ප්‍රකාශ මත රඳා සිටිය යුතුයි,” යනුවෙන් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳුදා පැවසීය. අසල්වැසි බුරියාටියා ජනරජයේ ප්‍රධානී ඇලෙක්සෙයි සිඩෙනොව් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ එම සේවිකාව “සමහරවිට ප්ලේගය නිසා” මියගොස් ඇති බවයි. එහෙත් තම කලාපයේ එම රෝගයේ ව්‍යාප්තියක් සිදුවී නොමැති බවද ඔහු සඳහන් කර තිබේ. රොස්පොට්‍රෙබ්නැඩ්සෝර් ආයතනයේ හිටපු ප්‍රධානී ගෙනඩි ඔනිෂ්චෙන්කෝ සිකුරාදා පැවසුවේ ඉර්කුට්ස්ක් කලාපයේ ඇති වූ ආසාදනය “බොහෝ දුරට ප්ලේගය නොවන” බවත්, 

එය ප්ලේගය බව තහවුරු වුවද රෝගය පැතිරීමක් සිදු නොවනු ඇති බවත්ය. සීතල කාලගුණය ආරම්භ වීම රෝග සම්ප්‍රේෂණය වැළැක්වීමට හේතු වනු ඇතැයිද ඔහු ටාස් රාජ්‍ය පුවත් සේවයට පැවසීය. පර්යේෂණාගාරය අසල පිහිටි ඇලුමිනියම් කර්මාන්තශාලාවක් පූර්වාරක්ෂක පියවරක් ලෙස මුහුණු ආවරණ පළඳින ලෙස සේවකයන්ට උපදෙස් දී තිබේ. ඉර්කුට්ස්ක් ඇලුමිනියම් කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ ආටෙම් ෆොමිනික් සඳහන් කර ඇත්තේ “පරස්පර වාර්තා” සංසරණය වෙමින් පවතින බවත්, සන්සුන්ව සිටින ලෙසත්ය. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සඳුදා පැවසුවේ එරට පරිපාලනය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. “මෙය කලබල වීමට හේතුවක් කියලා මම හිතන්නේ නැහැ. 

නමුත් අවධානය යොමු කළ යුතු සහ දිගටම නිරීක්ෂණය කළ යුතු කාරණයක්,” යනුවෙන් ඔහු පැවසීය. රුසියාවේ පෙනහළු ආශ්‍රිත ප්ලේගය හේතුවෙන් සිදුවූවා විය හැකි මරණයක් පිළිබඳව තමන් දැනුවත් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු ඉරිදා CNN වෙත පවසා තිබේ. “අපි CDC ආයතනය සහ අනෙකුත් අන්තර් ආයතනික හවුල්කරුවන් සමඟ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා. බොහෝ තොරතුරු තවමත් තහවුරු වී නැහැ. නිවැරදි තොරතුරු ඉක්මනින් හා විවෘතව බෙදාගන්නා ලෙස අපි රුසියානු බලධාරීන් දිරිමත් කරනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය. සිද්ධිය, එහි තත්ත්වයන්, සිදුවෙමින් පවතින රසායනාගාර පරීක්ෂණ සහ ඒවායේ ප්‍රතිඵල “තහවුරු කර ගැනීම” සඳහා රුසියානු සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය CNN වෙත පැවසීය. “ලබාගත හැකි නිල නොවන තොරතුරු මත පදනම්ව, සාමාන්‍ය ජනතාවට ඇති මහජන සෞඛ්‍ය අවදානම අඩු බව පෙනී යනවා,” යනුවෙන්ද එම සංවිධානය සඳහන් කළේය. එවැනි ප්‍රකාශ තිබියදීත් කලාපයේ රටවල් කිහිපයක් ආරක්ෂිත පියවර ගෙන ඇත. අවදානම “ඉතා අඩු” වුවද තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, රාජ්‍ය දේශසීමා හරහා ගමන් කරන ස්ථානවල “සනීපාරක්ෂක සහ නිරෝධායන පාලන” ක්‍රියාත්මක කර ඇති බවත් කසකස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අධික ලෙස බෝවන රෝගවලට මුහුණදීම සඳහා අදාළ බලධාරීන්ගේ “සූදානම ඉහළ නැංවූ” බව උස්බෙකිස්ථානය ප්‍රකාශ කර තිබේ. 

රුසියාව සමඟ ගොඩබිම් දේශසීමාවක් නොමැති සහ ඉර්කුට්ස්ක් සිට සැතපුම් 1,500ක් පමණ දුරින් පිහිටි කිර්ගිස්ථානයද රාජ්‍ය දේශසීමා හරහා ගමන් කරන ස්ථානවල නිරෝධායන පාලන හඳුන්වා දෙන බව සඳුදා නිවේදනය කළේය. සයිබීරියාවේ වෛරස විද්‍යාඥයකු වන ඇලෙක්සැන්ඩර් චෙපුර්නොව් CNN වෙත පැවසුවේ මෙවැනි දැඩි ක්‍රියාපටිපාටි අනුගමනය කරන්නේ ආසාදනය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා බවයි. සැක සහිත නිරාවරණයක් සිදුවූ සෑම අවස්ථාවකදීම ඒ බව වහාම වාර්තා කිරීමට, විෂබීජහරණයට ලක්වීමට, වෛද්‍ය ඇගයීමකට භාජනය වීමට සහ බෝවන තත්ත්වයේ සිටිය හැකි කාලය පුරාම වෙනම විශේෂිත පහසුකමක හුදකලා වීමට කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇති බව ඔහු පැවසීය. එන්නත් හා බෝවන රෝග සංවිධානයේ වෛරස විද්‍යාඥවරියක වන ඇන්ජෙලා රාස්මුසන් CNN වෙත පැවසුවේ පෙනහළු ආශ්‍රිත ප්ලේගය මාරාන්තික වුවද එය ඉතා පහසුවෙන් සම්ප්‍රේෂණය නොවන බවත්, 

රෝගී වීමට පුද්ගලයකු ඉහළ බැක්ටීරියා ප්‍රමාණයකට නිරාවරණය විය යුතු බවත්ය. ඒ අනුව එය කොවිඩ් වැනි ශ්වසන රෝගවලට වඩා වෙනස් බවද ඇය සඳහන් කළාය. සයිබීරියාවේ ඇතැම් ප්‍රදේශවල වනජීවීන් අතර ප්ලේගය ස්ථානීයව පවතින බවද ඇය පැවසුවාය. පෙනහළු ආශ්‍රිත ප්ලේගය යනු Yersinia pestis නම් බැක්ටීරියාව නිසා ඇතිවන ප්ලේග වර්ග තුනෙන් එකකි. අනෙක් වර්ග දෙක සාමාන්‍යයෙන් පැතිරෙන්නේ ආසාදිත මැක්කන්, සතුන් හෝ ආසාදිත පටක සමඟ සම්බන්ධ වීමෙනි. එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව පෙනහළු ආශ්‍රිත ප්ලේගය ඇති රෝගීන්ට උණ, හිසරදය සහ දුර්වලතාවය මෙන්ම “හුස්ම හිරවීම, පපුවේ වේදනාව, කැස්ස සහ ඇතැම්විට ලේ සහිත හෝ ජලමය සෙම සමඟ වේගයෙන් වර්ධනය වන නියුමෝනියාවක්” ඇතිවිය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ ප්ලේගයට ඉහළ මරණ අනුපාතයක් තිබුණද, එය මුල් අවධියේදී හඳුනාගතහොත් ප්‍රතිජීවක ඖෂධ මගින් පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි බවයි.

(CNN ඇසුරිනි)