it-is-revealed-that-there-was-a-plan-to-blow-up-a-flydubai-plane-in-the-israeli-capital-with-an-omani-pilot

ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කළ ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් යානයක් පැහැරගැනීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින සහකාර නියමුවා, එම යානය ටෙල් අවිව්හි බෙන් ගුරියන් ගුවන්තොටුපළට හෝ එම ඊශ්‍රායල නගරයේ බහුමහල් ගොඩනැගිල්ලකට ගැට්ටවීමට සැලසුම් කර තිබූ බව ඇමෙරිකානු සහ ඊශ්‍රායල වාර්තා පෙන්වා දෙයි. ඕමාන් ජාතිකයකු වන ඔහු "තනි වෘකයකු" ලෙස ක්‍රියා කළ අන්තවාදියකු බවද එම වාර්තාවල සඳහන් වේ.




සිද්ධිය සිදුවූයේ පසුගිය බදාදා ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කළ FZ1073 ගුවන් ගමනේදීය. එහිදී සහකාර නියමුවා "ත්‍රස්තවාදී ක්‍රියාවක්" සිදු කිරීමට තැත් කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ. නියමු කුටියේ තබා තිබූ හදිසි අවස්ථා සඳහා වන පොරොව රැගෙන ඔහු ප්‍රධාන නියමුවාට පහර දී තුවාල කළ අතර, පසුව මගීන් එක්ව ඔහු මැඩපවත්වා ගත්හ. යානයේ ගමන් කරමින් සිටි තවත් ගුවන් කාර්ය මණ්ඩලයකට යානය සෞදි අරාබියේ ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකි විය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ සහකාර නියමුවා "ඉස්ලාමීය රැඩිකල් මතවාදී පෝෂණයකට" ලක්ව සිටි බවත්, ප්‍රධාන නියමුවා, මගීන් සහ දෙවැනි කාර්ය මණ්ඩලය එක්ව "9/11 ව්‍යසනයක්" වළක්වාලූ බවත්ය.




විවිධ වාර්තා මගින් හමාම් අල්-හම්මාමි ලෙස නම් කර ඇති මෙම සහකාර නියමුවා පිළිබඳ තවත් තොරතුරු රැසක් සති අන්තයේදී අනාවරණය විය. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිගින් දිගටම ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් සිටින අතර, ඒ පිළිබඳව ඊශ්‍රායල නියෝජිතයින් දැනුවත් කෙරෙමින් පවතී.

විමර්ශනය ගැන දන්නා මූලාශ්‍ර උපුටා දක්වමින් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රධාන නියමු ස්මිත් මච්චාර්ට පහර දීමෙන් පසු යානය කිසිවක් නොවූ ලෙස ඊශ්‍රායල ගුවන් කලාපයට පදවාගෙන ගොස්, බෙන් ගුරියන් ගුවන්තොටුපළෙන් ගොඩබෑමේ අවසර ලබා ගැනීමට තමා අදහස් කළ බව සහකාර නියමුවා විමර්ශකයින් හමුවේ පවසා ඇති බවයි.



ඉන් අනතුරුව, මගීන් 180කට අධික පිරිසක් රැගත් බෝයිං 737 MAX යානය ගුවන්තොටුපළට හෝ මධ්‍යම ටෙල් අවිව්හි බහුමහල් ගොඩනැගිල්ලකට ගැට්ටවීම ඔහුගේ සැලැස්ම වූ බව එම වාර්තා කියයි. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා අල්-කයිඩා සංවිධානය ඇමෙරිකාවේ එල්ල කළ ප්‍රහාරවල ආකාරයෙනි. කිසියම් රැඩිකල් සංවිධානයක් හෝ විදේශ රජයක් වෙනුවෙන් නොව, ඔහු බොහෝ දුරට තනිවම ක්‍රියා කරන්නට ඇති බව එම මූලාශ්‍ර පෙන්වා දෙයි.

ටෙල් අවිව් බලා ගිය පෙර ගුවන් ගමනක්ද පැහැරගෙන ගැට්ටවීමට තමා අදහස් කළ නමුත්, යානයේ සිටි තමා හඳුනන අයකු නිසා එම අදහස අත්හළ බවද සහකාර නියමුවා විමර්ශකයින්ට පවසා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එමීර් රාජ්‍ය හෝ ඊශ්‍රායල බලධාරීන්ගෙන් වහාම ප්‍රතිචාරයක් නොලැබිණි. කෙසේ වෙතත්, සිද්ධියට අදාළ පූර්ණ පසුබිම, චේතනා සහ ඕනෑම සම්බන්ධතාවක් තම රටේ විමර්ශන මගින් තහවුරු කරගන්නා බවත්, විමර්ශන අවසන් වූ පසු ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති හමාද් අල්-ෂම්සි සෙනසුරාදා ප්‍රකාශ කළේය.

මේ අතර, බරපතළ ආරක්ෂක අඩුපාඩු පිළිබඳවද ප්‍රශ්න මතු වෙමින් තිබේ. ප්‍රහාරකයා ෆ්ලයිඩුබායි සමාගමට බඳවාගත්තේ කෙසේද, ඊශ්‍රායලයන්ගෙන් පිරුණු ගුවන් යානයක් ටෙල් අවිව් බලා පැදවීමට ඔහුට අවසර ලැබුණේ කෙසේද යන්න ඒ අතර ප්‍රධාන වේ.

කලාපීය නිලධාරීන් පවසන්නේ, සහකාර නියමුවාගේ අන්තවාදී අදහස් පිළිබඳ පැවති සැලකිලිමත්වීම් හේතුවෙන් ඕමානයේ ජාතික ගුවන් සේවය වන ඕමාන් එයාර් ඔහුට ගුවන් යානා පැදවීම තහනම් කර, පරිපාලන රැකියාවකට මාරු කළ බවයි. පසුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ෆ්ලයිඩුබායි සමාගමට බඳවාගනු ලැබුවේ සම්මත ආරක්ෂක පරීක්ෂාවලින් අනතුරුව වුවද, එම පරීක්ෂාවලදී ඔහු රැඩිකල්කරණයට ලක්ව ඇතැයි හැඟවෙන සලකුණු සඳහා ඔහුගේ පසුබිම විමසා බැලුණේ නැති බවද එම නිලධාරීහු පවසති.

ඊශ්‍රායලය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති ඕමානය වැනි රටවල පුරවැසි නියමුවන්ට එරට බලා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අවසර නොමැති බව ඊශ්‍රායල ගුවන් සේවා රෙගුලාසිවලද සඳහන් වේ.

FZ1073 ගුවන් ගමන පිටත්වීමට පෙර, එහි මගීන් සහ කාර්ය මණ්ඩලයේ නාම ලේඛනයක් එමීර් රාජ්‍ය බලධාරීන් ඊශ්‍රායලය සමඟ හුවමාරු කරගෙන තිබූ බව කලාපීය නිලධාරීන් ඉරිදා ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවයට පැවසූහ.

විදේශ ගුවන් සේවා සමාගම්වලින් ලැබෙන එවැනි ලේඛන පරීක්ෂා කිරීමේ වගකීම ප්‍රවාහන අමාත්‍යාංශය සතු බව ඊශ්‍රායලයේ ෂින් බෙට් දේශීය ආරක්ෂක ඒජන්සිය පවසයි. එහෙත් ප්‍රවාහන අමාත්‍ය මිරි රෙගෙව්ගේ ස්ථාවරය ඊට හාත්පසින්ම වෙනස්ය. තම අමාත්‍යාංශයට මගී සහ කාර්ය මණ්ඩල ලේඛන ලබා දී නොතිබූ බවත්, විදේශ ගුවන් සේවා සමාගම් මගින් ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන්වල ආරක්ෂක අධීක්ෂණය අයත් වන්නේ ෂින් බෙට් සහ මොසාඩ් විදේශ බුද්ධි ඒජන්සියේ වගකීම් පරාසයට බවත් ඇය පවසයි.

"ඊශ්‍රායලය බලා පැමිණෙන විදේශ සිවිල් ගුවන් සේවා සම්බන්ධ සියලු ආරක්ෂක අංශ" සමාලෝචනය කරන ලෙස අගමැති නෙතන්යාහු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියාට උපදෙස් දී තිබේ.

සහකාර නියමුවාට ඕස්ට්‍රේලියාව සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව ඕස්ට්‍රේලියානු බලධාරීන්ද විමර්ශන ආරම්භ කර ඇත. ඔහු 2015 සිට 2017 දක්වා එරට අධ්‍යාපනය ලැබූ බව මූලාශ්‍ර එරට මාධ්‍යවලට පවසා තිබේ.