ආන්දෝලනාත්මක පුවත් මවමින් සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ යළි දිවයිනට පැමිණියාය. ගුවන් තොටුපළේදි අත්අඩංගුවට පත්වීමක් සිදු නොවූ අතර ඒ අනුව FCID හමුවේ පෙනී සිටීම ඇතුළු කටයුතුවලට ඇය ඉදිරි දිනවල මුහුණ දෙනු ඇත.
ඇය මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවත් එසේ වන්නට ඉඩ නොතබන ලෙසත් දක්වමින් 05 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණි. එම ලියමනේ හැටියට ඇය සිංගප්පූරුවට ගොස් ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර වලටය. විදෙස්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට පත්වුවහොත්, අධිකරණය සුදුසු යැයි සලකන ඕනෑම කොන්දේසියක් යටතේ තමන් ඇප මත මුදාහරින ලෙස ඇය එහිදී ඉල්ලා තිබිණි.
නීතිඥ ජයබාලන් මහතා හරහා ගොනු කළ එම අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනී පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවා තිබිණි. පෙත්සම්කාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියත්, වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාත් නම් කර තිබූ බව සඳහන් විය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 16 වැනිදා අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබිණි. ඊට පෙර දින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ අතර, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගිය බව සඳහන් විය.
ඇයට සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බව පොලිසිය සඳහන් කර තිබිණි. ඇයගේ ගුවන් යානය පිටත්වීමට මිනිත්තු කිහිපයකට පෙර ගුවන්තොටුපළේදී එම සිතාසිය භාර දුන් බවත්, එම අවස්ථාවේ ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් නොතිබූ බවත් ඩේලි මිරර් වාර්තා කර තිබිණි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිතාසි ලැබී තිබියදී විදෙස්ගත වූ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුව ප්‍රකාශ කර තිබුණද, රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබිණි. එම පවුලේ සාමාජිකයා පවසා තිබුණේ ඇය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කිසිදු සිතාසියක් ලබාගෙන නොතිබූ බවත්, එම සිතාසිය ලැබුණේ ගුවන්තොටුපළට පැමිණ රටින් පිටවීමට සූදානම් වෙමින් සිටියදී පමණක් බවත්ය.
මෙම විමර්ශනය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ සිරිලිය සවිය පදනමට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන අතර, ළමා රෝහලක් සඳහා ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙන් එම පුණ්‍යායතනයට ලබාදුන් අරමුදල් ද ඊට ඇතුළත් බව සඳහන් වේ.
ඇයට ලබාදී තිබූ දීර්ඝ කළ කාලසීමාව අවසන් වීමට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් විදෙස් ගමන් තහනමක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආශ්‍රිත මූලාශ්‍රයක් සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබිණි. එවැනි තහනමක් පැනවුවහොත් ඇය ගුවන්තොටුපළට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව ද එම මූලාශ්‍රය සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු මීට පෙර පවසා තිබුණේ ඇයගේ නැවත පැමිණීම සඳහා තාවකාලික දිනයක් ලබාදී තිබුණද, සැබෑ පැමිණීමේ දිනය සිංගප්පූරුවේදී අවශ්‍ය වන වෛද්‍ය ප්‍රතිකාර මත තීරණය වනු ඇති බවයි. කෙසේ වෙතත් ඇය එරටදී රෝගී තත්වයන් නොසලකමින් වීදි සංචාරයේ යෙදුණ වීඩියෝ වාර්තා කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූයේ ඇය සහ නීතීඥයින් සැපයූ තොරතුරු උපහාසයට නගමිනි.


