ජීවිතයේ අවසන් තත්පර කිහිපය දක්වාම අරුණ විදානගමගේ හෙවත් ‘මිද්දෙණියේ කජ්ජා’ සිතා සිටියේ තමා කතා කරන්නේ තමන්ට අතිශය සමීප, විශ්වාසවන්ත කාන්තාවක සමග බවය. රාත්රී ආහාරය රැගෙන ඒම සඳහා සිය නව හැවිරිදි පුතු සහ සය හැවිරිදි දියණිය ද කැටුව ඔහු එළියට බසින්නේ ඇය ලබාදුන් ඒ දුරකථන ඇමතුමේ උපදෙස් මතය.
එහෙත් වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය ප්රදේශයේ හෝටලයක් අසලදී ඒ ගමන නිමා වූයේ යතුරුපැදියකින් ලුහුබැඳ ආ කුලී ඝාතකයන් දෙදෙනෙකුගේ ටී-56 ගිනිඅවියකින් නිකුත් වූ මාරක උණ්ඩවලින් කජ්ජා සහ ඔහුගේ කුඩා දරු දෙදෙනාම මහමඟ ලේ විලක් මැද අවසන් ගමන් යෑමෙනි.2025 වසරේ පෙබරවාරි 18 වැනිදා රාත්රියේ සිදුවූ එම ත්රිත්ව ඝාතනය මෙහෙයවූ ප්රධාන සැලසුම්කාරියට දින ඊයේ (27) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අවසන් විය. එක්සත් අරාබි එමීර් රාජ්යයේ සිට ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.-226 දරන යානයෙන් මෙරටට පිටුවහල් කෙරුණු අනෝෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ නමැති 34 හැවිරිදි සැකකාරිය, ගුවන්තොටුපොළේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූවාය.
මිද්දෙණිය, කටුවන ප්රදේශයේ පදිංචිකාරියක වන අචිනි, කජ්ජා සමග ඉතා සමීප සබඳතාවක් පවත්වා තිබේ. ඝාතනය සිදුවූ දවස පුරාම ඔවුන් දෙදෙනා අතර කෙටි පණිවුඩ හුවමාරු වී ඇති අතර, කජ්ජාගේ දුරකථනයට ලැබුණු අවසන් ඇමතුම් කිහිපය ද ඇයගෙන් ලැබුණු ඒවා බව දුරකථන දත්ත විශ්ලේෂණයේදී අනාවරණය විය. ඝාතනයෙන් පසු වහාම ගුවන් ගමන් බලපත්රයක් සකසා ගන්නා ඇය මාර්තු 05 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යයි. ඉන්පසු මැලේසියාවටත්, එතැනින් ඩුබායිහි සාජා වෙතත් පලා යන ඇය එහි චොකලට් කර්මාන්තශාලාවක සේවය කරමින් සැඟවී සිටියාය. එහෙත් ජාත්යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් නිකුත් කර තිබූ පසුබිමක, පොලිසිය ඇය සොයා නිරන්තරයෙන් පැමිණීම හේතුවෙන් ඉකුත් අගෝස්තු 30 වැනිදා යළි මෙරටට ඒමට උත්සාහ කිරීමේදී ඇය ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්විය. මාස තුනකට පමණ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි බලා ගොස් ඇයව නිල වශයෙන් භාරගෙන ලංකාවට රැගෙන ආවේ ඉන් අනතුරුවය.
මෙම අමානුෂික ඝාතනය පිටුපස ක්රියාත්මක වී ඇත්තේ සංවිධානාත්මක පාතාල කල්ලියකි. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා විසින් මෑතකදී මෙරටට රැගෙන එනු ලැබූ බැකෝ සමන් සහ කෙහෙල්බද්දර පද්මේ යන පාතාල සාමාජිකයන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී මෙහි සුලමුල හෙළි විය. බැකෝ සමන්ගේ උපදෙස් මත අචිනි විසින් කජ්ජාව හෝටලය අසලට ගෙන්වාගෙන ඇති අතර, තැඹිලි ළහිරු ද මෙම සැලසුමට සම්බන්ධ වී තිබේ. ඝාතනය සඳහා යොදාගත් ටී-56 අවිය හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයකු වූ මනම්පේරි විසින් රැගෙන ආ බව ද, කුලී ඝාතකයන්ට මේ සඳහා රුපියල් ලක්ෂ පහක කොන්ත්රාත්තුවක් ලබා දී තිබූ බව ද විමර්ශනවලදී තහවුරු විය. එම මුදලින් කොටසක් ඝාතකයන්ගේ බැංකු ගිණුම්වල තිබී විමර්ශකයන් විසින් සොයාගනු ලැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලට කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙකු ලෙස සැලකෙන කජ්ජා, සිය මරණයට දින කිහිපයකට පෙර චමුදිත සමරවික්රමගේ යූටියුබ් නාළිකාව සමග එක්වෙමින් රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ රැසක් පිළිබඳව තොරතුරු හෙළි කළේය. රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය මෙන්ම සුදු වෑන් රථයක් පිළිබඳව ද ඔහු එහිදී අදහස් දක්වා තිබිණි. එම ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් දින කිහිපයක් යත්ම, ඔහුට සිය දරු දෙදෙනා ද සමග ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ආ සැකකාර අනෝෂා ලක්මාලි හෙවත් අචිනි, අධිකරණ අවසරය මත දින 3ක් රඳවාගෙන මේ වන විට ප්රශ්න කරමින් සිටියි. දුරකථන ඇමතුමකින් ඇරඹි ඒ මාරක ගමනේ තවත් නොවිසඳුණු රහස් රැසක් ඇයගේ ප්රකාශ හරහා ඉදිරියේදී හෙළිවනු ඇත.