namals-airbus-case-decisions-will-now-be-in-the-hands-of-three-judge-judges

වසර ගණනාවක් පුරා මෙරට දේශපාලන හා ආර්ථික ක්‍ෂේත්‍රය කැළඹූ ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවේ නෛතික ගමන්මඟ තීරණාත්මක කඩඉමකට එළැඹී තිබේ. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයා විසින් අනුමැතිය ලබා දීමත් සමඟිනි.




ඊයේ (27 වැනිදා) බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, අල්ලස් කොමිසම හා නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් මෙම නවතම නෛතික වර්ධනය දැනුම් දෙනු ලැබුවේය.

අල්ලස් කොමිසම විසින් අංක HC/PTAB/BR01/2026 යටතේ මේ වන විටත් අදාළ අධිචෝදනා පත්‍ර ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වෙත යොමු කර අවසන්ය. ඊට චෝදනා 24ක් සහ සාක්ෂිකරුවන් 59 දෙනකු ඇතුළත් වේ. මෙම නඩුකරයේ සෙසු විත්තිකරුවන් වන්නේ හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත්, දැනට විදෙස්ගතව සැඟවී සිටින ශමින්ද්‍ර රාජපක්ෂ, 'බිස් සොලුයුෂන්' (BIZ SOLUTIONS INC) සමාගම සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකයි.




නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර අවසන් බැවින් මින් ඉදිරියට නියෝග ලබාදීමේ සම්පූර්ණ බලය ඇත්තේ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට බවයි. එම විනිසුරු මඬුල්ල විසින් නොතීසි නිකුත් කරන තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීම හැර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට වෙනත් විකල්පයක් නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ, අදාළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ දැනටමත් වෙනත් නඩුවක් විභාග වෙමින් පවතින බැවින් එයාර් බස් නඩුව කවදා කැඳවයිද යන්න නිශ්චිත නොමැති බවයි. එමෙන්ම, මහෙස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාවලිය අවසන් වන්නේ නම්, සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරමින් ඉදිරියට බලපාන නියෝග නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට හැකියාවක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.



දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම, විවෘත අධිකරණයේදී සිය නියෝගය ප්‍රකාශයට පත් කළේ සිය අධිකරණයට ඇති නීතිමය සීමාවන් පැහැදිලි කරමිනි. දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ඉදිරිපත් කර ඇති අවස්ථාවක, සුවිශේෂී කරුණු මත හැර සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

"නමුත් මේ වනවිට මෙම නඩුකරයට අදාළව නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගොනුකර තිබෙනවා. එමනිසා සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ," යැයි පැවසූ මහෙස්ත්‍රාත්වරයා, "මට කිරීමට ඇති එකම දේ එය පමණයි," යනුවෙන් සඳහන් කළේය.

ඒ අනුව, සැකකරු නොපමාව අද (28 වැනිදා) කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය. එතෙක් ඔහු බන්ධනාගාර භාරයේ රඳවා තැබිය යුතු බවටත්, සැකකරු මහාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ වාර්තාවක් ලබන 30 වැනිදා තම අධිකරණයට ලබා දෙන ලෙසටත් වැඩිදුරටත් නියෝග කර ඇත. ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණයේ භූමිකාව අවසන් වෙමින්, එයාර් බස් ගනුදෙනුවේ නෛතික විභාගය නිල වශයෙන්ම ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත සම්ප්‍රේෂණය වී තිබේ.