
තම දෙපා වාරුවෙන් ඇවිද ගිය මිනිසෙකු නැවත පැමිණියේ අත් පා හතරෙන් ඔසවාගෙනය. කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාරගේ ඛේදනීය ඉරණම හෝමාගම පොලිසිය තුළදී ලියවෙන්නේ එලෙසිනි.
මත්ද්රව්ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන සිටියදී ඔහුට අත්වූ මෙම හදිසි මරණයත් සමග, හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.ඔක්තෝබර් 25 වනදා උදෑසන ඉෂාරගේ බිරිඳ වන පියුමි නිසංසලා හෝමාගම පොලිසියට පැමිණෙන්නේ තම සැමියා අත්අඩංගුවට ගත් බවට ලැබුණු දුරකථන ඇමතුමකට අනුවය. ඇය සමඟ ඔවුන්ගේ පස් හැවිරිදි දරුවා ද විය. සිරමැදිරිය අසලට ගියහොත් කුඩා දරුවා බියට පත්වනු ඇතැයි සිතූ ඇය පොලිසියේ ශාලාවක රැඳී සිටියාය. ඒ රැඳී සිටින අතරතුර, තම සැමියා සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා අපරාධ අංශය වෙත රැගෙන යනු ඇය දුටුවාය. සුළු මොහොතකින් ඇයට ඇසුණේ වේදනාත්මක විලාපයකි. එම කෑගැසීම කාගේදැයි එකවර හඳුනාගැනීමට ඇයට නොහැකි විය.
නමුත් මඳ වේලාවකින් ඇය දුටු දසුනින් ඇය අතිශය කම්පනයට පත්වූවාය. අපරාධ අංශය වෙත රැගෙන ගිය ඉෂාරව, පොලිසියේ අත්සන් කිරීමට පැමිණ සිටි වෙනත් තරුණයින් පිරිසක් විසින් අත් සහ පාදවලින් ඔසවාගෙන, බිම දිගේ ඇදගෙන එන අයුරු ඇය දුටුවාය. ඔහු සමඟ ගිය අනෙක් පුද්ගලයා ද නැවත රැගෙන ආවේ කොර ගසමිනි.
"ගහලා මැරුවේ.. එයාට කිසිම ලෙඩක් තිබුණේ නෑ. කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයෙක් එනකොට කොහොමද උස්සගෙන එන්නේ. තිරිසනෙකුට වගේ ගහන්න ඇති බඩවල්වල නිල් පැල්ලම්, කටෙන් ලේ පැනලා," යනුවෙන් පියුමි නිසංසලා තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට දැඩි චෝදනාවක් එල්ල කරමින් ප්රකාශ කළාය.
සිද්ධිය ඇසින් දුටු ඥාතීන් කළ දැඩි බලපෑම සහ ඉල්ලීම මත, අසාධ්ය තත්ත්වයේ පසුවූ ඉෂාරව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. එහෙත් රෝහලට ගෙන යන විටත් මෙම තරුණ පියා මෙලොව හැරගොස් සිටි බව ඔහුගේ ඥාතීහු පවසති.
මෙම බරපතළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්ය කොට්ඨාසය තහවුරු කළේ, සිද්ධියට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.
පොලිස් භාරයේ සිටියදී සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු මේ වනවිට බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත. නීතිමය ක්රියාදාමයේ අතිශය තීරණාත්මක සාධකයක් වන ඉෂාරගේ පශ්චාත් මරණ පරීක්ෂණය 27 වනදා සිදුකිරීමට නියමිත අතර, තම දෙපා වාරුවෙන් පොලිසියට ගිය කිරිවත්තුඩුවෙන් ආ ඒ තරුණ පියාගේ අකල් මරණයේ සැබෑ හේතුව එමඟින් අනාවරණය වනු ඇත.