
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග කළුතර, තෙබුවන ප්රදේශයේ වතු කම්කරු ජනතාව ජීවත් වන ලැයිම් නිවාස පෙළක් මතට දැවැන්ත බෝ ගසක් කඩා වැටීමෙන් එම පවුල් රැසක් දැඩි අසරණභාවයට පත්ව තිබේ. දොඩංගොඩ ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් 809A තෙබුවන බටහිර ග්රාම සේවා වසමේ, මාබඩවත්ත ප්රදේශයේ පිහිටි දමිළ පවුල් දහතුනක් ජීවත් වන නිවාස පෙළකට මෙලෙස ගස කඩා වැටී ඇත.
මෙම හදිසි ආපදාව හේතුවෙන් ලැයිම් කාමර හයකට දැඩි හානි සිදුව ඇති අතර, ඉන් නිවාස පහක ජීවත් වූ පවුල් පහක් දැඩි ලෙස අසරණ වී තිබේ. අනපේක්ෂිත මොහොතක සිදුවූ මෙම විනාශයත් සමග අවතැන් වූ එම පවුල්වල සාමාජිකයන් මේ වනවිට සිය ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන ඇත.
මෙම දැවැන්ත බෝ ගස අදාළ ලැයිම් කාමර පෙළ මතට කඩා වැටෙන අයුරු දැක්වෙන සජීවී දර්ශන ද සටහන්ව ඇති අතර, ඉන් එම ආපදාවේ බිහිසුණු බව තවදුරටත් තහවුරු වෙයි.
අනතුරුව කඩා වැටුණු බෝ ගස සහ සුන්බුන් කඩිනමින් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ. කළුතර දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය සහ දොඩංගොඩ ප්රාදේශීය සභාව එක්ව ඉතා යුහුසුළුව මෙම කටයුතු සිදු කරනු ලබයි. ඊට අමතරව ප්රාදේශීය ලේකම් කාර්යාලය, අරප්පලකන්ද වතුයාය පාලනාධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය ද ආපදාවට ලක්වූ ස්ථානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිය නොමඳ සහයෝගය ලබා දෙමින් සිටියි.