බලංගොඩ කස්සප හිමියන් කිංස්බරි හෝටලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන ආන්දෝලනාත්මක ප්රචාරයන්ට ප්රතිචාර දක්වමින්, එම කාරණය සම්බන්ධයෙන් අදාළ හිමියන්ගෙන්ම විමසිය යුතු බව උලපනේ සුමංගල හිමියෝ අවධාරණය කරති. අද (26) පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, සත්යග්රහයකට සම්බන්ධ වන පුද්ගලයින්ගේ පෞද්ගලික ගමන් බිමන් මත පොදු සටනක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මැනිය නොහැකි බවයි.
විහාරමහාදේවී උද්යානයේ පැවති සත්යග්රහය සඳහා නන්දෙසින් පිරිස් එක්වූ බවත්, බලංගොඩ කස්සප හිමියන්ද එහි දීර්ඝ කාලයක් කැපවීමෙන් රැඳී සිටි අයෙකු බවත් සුමංගල හිමියෝ සිහිපත් කළහ. එහෙත්, ඊට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලාට කඨින පිංකම්, පෙරහැර මෙන්ම පාසල් යාම වැනි වෙනත් ආගමික හා පෞද්ගලික කටයුතු සඳහා ද සහභාගී වීමට සිදුවූ බව පෙන්වා දුන් උන්වහන්සේ, එකිනෙකාගේ පෞද්ගලික ගමන් බිමන් සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවත්, වර්තමානයේ වැසිකිළි යන දර්ශන පවා වීඩියෝ කර පෙන්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ප්රකාශ කළහ.
පාගමනක් සහ සත්යග්රහයක් යනු ක්රියාමාර්ග දෙකකි. සත්යග්රහයක් සඳහා විශාල පිරිසක් අවශ්ය නොවන බවත්, එය එක් අයෙකුට වුවද කළ හැකි බවත් සුමංගල හිමියන්ගේ අදහසයි. එහි සාර්ථකත්වය තීරණය කරන්නේ ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් හෝ නිරාගමික පාර්ශ්ව නොව, එය සංවිධානය කරන තමන් බවද උන්වහන්සේ දැඩිව ප්රකාශ කළහ. මහනායක හිමිවරුන්ගෙන් ලිඛිත ඉල්ලීමක් නොලැබෙන්නේ නම්, තමන්ට අවශ්ය ආකාරයට සැලසුම් සහගතව සහ උපායමාර්ගිකව සිය අරගලය ඉදිරියටම ගෙන යන බවට ද උන්වහන්සේ අනතුරු ඇඟවූහ.
මෙම විරෝධතාවල ප්රධාන අරමුණු තුනක් පවතින බව උන්වහන්සේ පැහැදිලි කළහ. ඒ, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම, ආණ්ඩුවේ ශාසනික වැඩපිළිවෙළ නතර කිරීම සහ ආණ්ඩුව නිරාගමික බව ජනතාව දැනුවත් කිරීමයි. ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ සටන 'අපරාධකරුවන් නිදහස් කිරීමක්' ලෙස ඇතැමුන් කරන චෝදනා ප්රතික්ෂේප කළ සුමංගල හිමියෝ, අතීතයේ සිරකරුවන්ට සමාව දුන් ආකාරය පිළිබඳව ආන්දෝලනාත්මක සංසන්දනයක් ද ගෙනහැර දැක්වූහ.
උන්වහන්සේ පෙන්වා දුන් පරිදි, 1977 වසරේදී එවකට මුදල් ඇමති රොනී ද මැල් සමඟ හිරගෙදරදී ඇතිකරගත් රහසිගත ගිවිසුමක ප්රතිඵලයක් ලෙස ජේ.ආර්. ජයවර්ධන විසින් රෝහණ විජේවීරට ජනාධිපති සමාව ලබා දී තිබේ. එසේම 1994 වසරේදී ටිල්වින් සිල්වා ඇතුළු තුන්සිය ගණනකට ද පොදු සමාවක් හිමිවිය. මිනීමැරුම්, බැංකු කැඩීම්, පොලීසි කැඩීම් සහ ආණ්ඩු පෙරළීම් වැනි ක්රියාවලට සම්බන්ධ වූවන්ට එලෙස සමාව ලැබෙද්දී, මුස්ලිම් අන්තවාදයට එරෙහිව සහ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් නඩු හතරකට පමණක් මුහුණ දී සිටින ඥානසාර හිමියන් අපරාධකරුවෙකු කරන්නේ කෙසේදැයි සුමංගල හිමියෝ ප්රශ්න කළහ. ඩයස්පෝරාවේ උවමනාවට බුද්ධි අංශ රණවිරුවන් හිරගත කරන විට ඊට එරෙහි වීම අපරාධයක් යැයි පවසන ආණ්ඩුව 'කල්ලතෝනි' ආණ්ඩුවක් බවද උන්වහන්සේ චෝදනා කළහ.
රටේ නීතිය ක්රියාත්මක වන ආකාරය පිළිබඳව ද උන්වහන්සේ දැඩි විවේචනයක් එල්ල කළහ. ගල්කිස්ස උසාවියෙන් නියෝජ්ය ඇමතිවරුන් දෙදෙනෙකුට සහ නගරාධිපතිවරයෙකුට වරෙන්තු නිකුත් කළ නඩුකාරවරයාට ස්ථාන මාරුවක් ලැබීමත්, අයි.සී.සී.පී.ආර්. (ICCPR) පනත යටතේ පැවරූ ජෙරම්ගේ නඩුව නීතිපති උපදෙස් නොමැතිව වසර දෙකහමාරක් තිස්සේ නොකැඳවීමත් ඊට නිදසුන් ලෙස උන්වහන්සේ ඉදිරිපත් කළහ. "පැලවත්ත නීතිය" නීතියට උඩින් පවතින බවත්, මහජනතාව සහ සම්බුද්ධ ශාසනය නීතියට පහළින් සිටින බවත් උන්වහන්සේ විවේචනය කළහ.
මෙම අරගලය පසුපස දේශපාලනඥයින් සිටින බවට ආණ්ඩුව නගන චෝදනාව ද සුමංගල හිමියෝ තරයේ ප්රතික්ෂේප කළහ. තම පාගමන ජනාධිපති කාර්යාලය දක්වා පැමිණි මාර්ගය පවා නිවැරදිව සොයාගැනීමට බුද්ධි අංශ අසමත් වූ බවත්, වෙනත් ස්ථාන තුනක මුර කරමින් සිටි බවත් පැවසූ උන්වහන්සේ, එයින්ම ආණ්ඩුවේ විවේචනවල ඇති පදනම් විරහිත බව ඔප්පු වන බව පැවසූහ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට මෙන්ම ඕනෑම ජාතිකයෙකුට, ආගමිකයෙකුට, මාධ්යවේදියෙකුට හෝ වෘත්තිකයෙකුට මෙම පොදු සටනට එක්විය හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
තම සටනට කිසිදු විරාමයක් හෝ නිශ්චිත ආරම්භක ස්ථානයක් නොමැති බව පවසන උලපනේ සුමංගල හිමියෝ, නිරාගමික බලවේගයන්ට එරෙහිව ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී ක්රියාත්මක වීමට තමන්ට ශක්තිය ඇති බවත්, එය ඉදිරියේදී පෙන්වා දෙන බවත් අවධාරණය කරමින් අදහස් දැක්වීම නිමා කළහ.