gunshots-heard-from-kalutara-prison-due-to-a-parcel-arriving-by-air

කළුතර බන්ධනාගාර පරිශ්‍රයේ අද (21) පස්වරුවේ හදිසි වෙඩි හඬක් දෝංකාර දුන්නේය. ඒ, ආරක්ෂක අංශවල දැඩි සෝදිසිය නොතකා බන්ධනාගාරය තුළට තහනම් භාණ්ඩ ඇතුළත් පාර්සල් විසිකිරීමට තැත් කළ සැකකරුවෙකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙනි.




බන්ධනාගාර ආරංචි මාර්ග සහ දෙපාර්තමේන්තු තොරතුරු වලට අනුව, මෙම සිදුවීම ආරම්භ වී ඇත්තේ බන්ධනාගාරයට පිටතින් පැමිණි පුද්ගලයෙකු තාප්පය ආසන්නයට පැමිණීමත් සමගිනි. ඔහු යම් පාර්සල් ප්‍රමාණයක් බන්ධනාගාරය ඇතුළට විසි කිරීමට සූදානම් වන අයුරු මුර අට්ටාලවල රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගේ නෙත ගැටී ඇත. එහිදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන්, එම ස්ථානයෙන් ඉවත්වන ලෙස අදාළ පුද්ගලයාට දැනුම් දී තිබේ.

එහෙත්, නිලධාරීන්ගේ එම අනතුරු ඇඟවීම් නොසලකා හළ පුද්ගලයා, තමා රැගෙන ආ පාර්සල් බන්ධනාගාරය තුළට විසි කර ඇත. ඒ සමගම සැකකරු අත්අඩංගුවට ගැනීමේ අරමුණින් මුර අට්ටාලයේ සිටි නිලධාරියෙකු වහා ක්‍රියාත්මක වී සිය ගිනි අවියෙන් අහසට වෙඩි තබා තිබේ. කෙසේ වෙතත්, වෙඩි තැබීමත් සමගම එම ස්ථානයෙන් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි වී නොමැත.




මෙලෙස පලාගිය පුද්ගලයා විසින් විසි කරන ලද පාර්සල් දෙකක් බන්ධනාගාරය තුළට පතිත වී ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් විසින් ඒවා වහාම සිය භාරයට ගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, එම පාර්සල් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ජංගම දුරකථන 06ක් මෙන්ම 'කුඩු' සහ 'ගංජා' ඇතුළු මත්ද්‍රව්‍ය සොයාගනු ලැබ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සහ පලාගිය සැකකරු සොයා මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.