මෙරටදී ශල්යකර්ම මගින් ප්රතිකාර කිරීමට අපහසු මට්ටමේ අතිශය සංකීර්ණ හෘද රෝග සහිත ශ්රී ලාංකික දරුවන් 15 දෙනෙකුගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් විදෙස් විශේෂඥ වෛද්ය කණ්ඩායමක් මේ දිනවල ගාල්ල කරාපිටිය ජාතික රෝහලේදී නොමිලේ ශල්යකර්ම මාලාවක් සිදු කරමින් සිටිති. 'ටේක් හාර්ට් මර්සි මිෂන්' (Take Heart Mercy Mission) නම් පුණ්යායතනයට අයත් මෙම වෛද්ය කණ්ඩායම, දේශීය වෛද්ය වෘත්තිකයන් හා එක්ව මෙම සංකීර්ණ මෙහෙයුම ක්රියාත්මක කරයි.
සෞඛ්ය නියෝජ්ය අමාත්ය හංසක විජේමුණි පසුගිය 22 වැනිදා කරාපිටිය රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම ශල්යකර්ම සහ ඊට අදාළ වෛද්ය කටයුතු පිළිබඳව සොයාබැලීය. එහිදී ළමා දැඩි සත්කාර ඒකකය නිරීක්ෂණය කළ නියෝජ්ය අමාත්යවරයා, ක්රියාත්මක වෙමින් පැවති හෘද ශල්යකර්මයක් ද නිරීක්ෂණය කළ අතර, සංකීර්ණ ශල්යකර්මවලට භාජනය වූ දරුවන්ගේ සුවය ලැබීමේ තත්ත්වය පිළිබඳව විදෙස් වෛද්ය කණ්ඩායමේ සාමාජිකයින් විසින් ඔහුව දැනුවත් කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේ, මෙරට වෛද්යවරුන්ට මෙම අතිශය සංකීර්ණ හෘද රෝග තත්ත්වයන් නිවැරදිව හඳුනාගැනීමේ හැකියාව තිබුණද, ඊට අවශ්ය ශල්යකර්ම ප්රතිකාර මෙරට තුළදී ලබාදීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව තිබූ බවයි. කෙසේ වෙතත්, මෙවැනි කාලීන ශල්යකර්ම මැදිහත්වීම් හරහා රෝගී දරුවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටත්, ඔවුන්ගේ පවුල්වලට විශාල ධනාත්මක බලපෑමක් ඇති කිරීමටත් හැකිවන බව ඔහු අවධාරණය කළේය.
මීට වසර 23කට පෙර ආරම්භ වූ 'ටේක් හාර්ට් මර්සි මිෂන්' සංවිධානය උපතින්ම සංජානනීය හෘද ආබාධ සහිතව උපදින ශ්රී ලාංකික දරුවන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් කැපවූ පුණ්යායතනයකි. විශේෂඥ වෛද්යවරුන්, හෙදියන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සැදුම්ලත් ඔවුන්ගේ ජාත්යන්තර කණ්ඩායම වාර්ෂිකව කරාපිටිය රෝහලට පැමිණ දේශීය සෞඛ්ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙම ජීවිතාරක්ෂක ප්රතිකාර නොමිලේ ලබා දෙයි. මෙම වැඩසටහන රජයට කිසිදු මූල්ය බරක් පටවන්නේ නැති අතර, ශල්යකර්ම සඳහා වැයවන සියලුම වියදම් සහ ඊට අවශ්ය වෛද්ය උපකරණ සැපයීම අදාළ පුණ්යායතනය මගින්ම සිදු කෙරේ. එසේම, මෙම වැඩසටහන ශ්රී ලංකාවේ නීතිරීතිවලට අනුකූලව සහ අවශ්ය සියලුම අනුමැතියන් සහිතව ක්රියාත්මක වන බව නියෝජ්ය අමාත්යවරයා තහවුරු කළේය.
මේ අතර, සෞඛ්ය අමාත්යාංශයේ පටක බැංකුව මගින් සපයන ලද පටක භාවිත කරමින් එක් සංකීර්ණ හෘද පටක බද්ධ කිරීමේ ශල්යකර්මයක් ද සාර්ථකව සිදු කර ඇති බව මෙහිදී අනාවරණය විය. දරුවන්ගේ ජීවිත බේරාගැනීමට අමතරව, මෙවැනි අතිශය සංකීර්ණ හෘද ශල්යකර්ම සිදුකිරීම සම්බන්ධයෙන් ප්රායෝගික අත්දැකීම්, තාක්ෂණික දැනුම සහ විශේෂිත කුසලතා ලබාගැනීමට ශ්රී ලාංකික වෛද්ය වෘත්තිකයන්ට මෙම වැඩසටහන කදිම අවස්ථාවක් සම්පාදනය කර ඇති බවද විජේමුණි මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.