father-is-depressed-mother-doesnt-know-if-she-will-die-tomorrow-or-the-day-after-lord-grant-namal-bail

රුපියල් මිලියන 70ක අල්ලස් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂට ඇප ලබාගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ මෝසම, නීතිමය තර්කවලට වඩා හැඟීම්බර පවුල් පසුබිමක් ඉස්මතු කළ අවස්ථාවක් විය. ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව එල්ල වී ඇති බරපතළ දූෂණ චෝදනා හමුවේ, ඔහුගේ නීතිඥවරුන් ඇප ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ හදිසි සෞඛ්‍ය තත්ත්වයන් 'සුවිශේෂී කරුණු' ලෙස හුවා දක්වමිනි.




සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් උත්සාහ කළේ මවගේ සහ පියාගේ රෝගී තත්ත්වයන් මත පදනම්ව ඔහුට කෙසේ හෝ ඇප ලබාගැනීමටයි. හිටපු ජනාධිපතිවරයා අධිරුධිර පීඩනයෙන් සහ විශාදයෙන් පෙළී අසාධ්‍යව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටින බවත්, මෙතෙක් ඔහු රැකබලා ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මේ වන විට බරපතළ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇප ලබාගැනීමේ අරමුණින් නීතිඥවරයා විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණය හමුවේ ඉතා සංවේදී ලෙස කරුණු ඉදිරිපත් කරනු ලැබීය. ඇයගේ හෘදයට රුධිරය සපයන ප්‍රධාන නාලය අවහිර වී ඇති බැවින් ඔක්සිජන් සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් හඳුනාගෙන ඇති බවත්, එක් සැත්කමක් සිදුකර දැනට හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් පසුවන බවත් එහිදී කියවිණි. "අද පස්වරුවේ ජීවිත අවදානමක් සහිත විවෘත හදවත් සැත්කම සිදු කළ පසු සැකකරුගේ මව ජීවතුන් අතර සිටීද නැද්ද කියාවත් ස්ථිරව කියන්න බෑ," යනුවෙන් අලි සබ්රි මහතා කළ ප්‍රකාශය, දූෂණ චෝදනාවකට ලක්ව සිටින පුද්ගලයෙකු නිදහස් කරගැනීම සඳහා යොදාගත් ප්‍රබල හැඟීම්බර ප්‍රකාශයක් විය. "අද ඇප ලබා දුනහොත් ඔහු ගොස් මව බලයි, මෙය ඔහු මව දකින අවසන් දවස වෙන්නත් පුළුවන්" යනුවෙන් ද ඔහු තවදුරටත් අවධාරණය කළේය.




මෙම සංවේදී කරුණු දැක්වීම හරහා කඩිනම් ඇපයක් අපේක්ෂා කළ ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නියෝජනය කළ සහකාර නීති අධ්‍යක්ෂිකා තනුජා බණ්ඩාර මෙනවිය ඊට දැඩි ප්‍රතිචාරයක් දැක්වූවාය. වෙනත් කටයුත්තකට අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම හදිසි මෝසම පිළිබඳව තමන් දැනගත් බව පැවසූ ඇය, ඊට ලිඛිතව දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කිරීමට කාලය අවශ්‍ය බව අවධාරණය කළාය. දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කර ඇති සහතිකය අනුව විමර්ශන අවසන් වන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවත්, සුවිශේෂී කරුණු නොමැතිව ඇප ලබාදිය නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය. එම සහතිකය අභියෝගයට ලක් කළ නොහැකි බව ද ඇය සඳහන් කළාය.

එහිදී අලි සබ්රි මහතා පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් කොමිසමේ සහතිකය අද දිනයේ අභියෝගයට ලක් නොකරන බවත්, රක්ෂිත බන්ධනාගාරගත කිරීම දඬුවමක් ලෙස ක්‍රියාත්මක නොවිය යුතු බැවින් මතුව ඇති දෙමාපියන්ගේ රෝගී තත්ත්වයන් පමණක් ඇප ලබාගැනීම සඳහා අවශ්‍ය 'සුවිශේෂී කරුණු' ලෙස සලකන ලෙසත්ය.



මෙහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ අවධානය යොමු වූයේ මීට පෙර සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ දීර්ඝ ඇප අයදුම්පත්‍රයේ මෙම කරුණු කිසිවක් අන්තර්ගතව නොතිබීම කෙරෙහිය. කෙසේ වෙතත්, සැකකරුට ඇප ලබා දීමට මෙම නව තත්ත්වයන් සුවිශේෂී කරුණු ද නැද්ද යන්න සලකා බැලීමට අධිකරණයට බලයක් ඇති බව ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා, ඊට පෙර ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය හෙට (28) අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළේය. අනතුරුව සුදුසු නියෝගයක් ලබා දෙන බව ද ඔහු පැවසීය.

ඒ අනුව, දෙමාපියන්ගේ රෝගී තත්ත්වය මත ඇප ලබාගැනීමට දරන ලද මෙම උත්සාහය පිළිබඳ මෝසම ඊයේ (28) යළි සලකා බැලූ අතර, ඇප හිමි නොවීය. රුපියල් මිලියන 70ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට අදාළව නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.