printing-of-identity-cards-and-driving-licenses-has-been-stopped-due-to-the-fact-that-the-cards-have-run-out

ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධානතම අනන්‍යතා ලේඛන ද්විත්වයක් වන ජාතික හැඳුනුම්පත සහ රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබේ. නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව, දීර්ඝ කාලයක් මෙරට භාවිත කෙරුණු පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට ඉලක්කම් 12කින් යුත් නව ප්ලාස්ටික් හැඳුනුම්පතක් 2017 වර්ෂයේදී හඳුන්වා දෙනු ලැබීය.

එහෙත්, වර්තමානය වන විට අදාළ ප්ලාස්ටික් කාඩ්පත්වල මතුව ඇති හිඟයක් හේතුවෙන් හැඳුනුම්පත් මුද්‍රණ කටයුතු අඩාළ වී ඇත. වාර්තා වන ආකාරයට, එම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට නිකුත් කිරීමට නොහැකිව ඇති ජාතික හැඳුනුම්පත් ප්‍රමාණය ලක්ෂ 10කි.




මෙම අර්බුදයේ බලපෑමට ලක්ව ඇති අනෙක් ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. මුද්‍රණ කාඩ්පත් මෙන්ම මුද්‍රණ යන්ත්‍රවලද පවතින හිඟය හේතුවෙන් මේ වන විට රියැදුරු බලපත්‍ර ලක්ෂ හයහමාරකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරගැනීමට නොහැකි තත්ත්වයක් එම දෙපාර්තමේන්තුව තුළ ද උද්ගතව තිබේ. මෙම පසුබිම හමුවේ, රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන් බොහෝ පිරිසකට මේ වන විට නිකුත් කෙරෙන්නේ තාවකාලික බලපත්‍රයක් පමණි.

කෙසේ වෙතත්, මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා අදහස් දක්වා තිබේ. ඔහු ප්‍රකාශ කරන පරිදි, එළඹෙන නොවැම්බර් මස මැද භාගය වන විට මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ලැබීමට නියමිතව ඇති අතර, ඉන්පසුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇත. ඒ අනුව, ලබන වසරේ අප්‍රේල් මාසය පමණ වන විට මෙරට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය යළිත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකිවනු ඇති බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

printing-of-identity-cards-and-driving-licenses-has-been-stopped-due-to-the-fact-that-the-cards-have-run-out