rakhithas-2-cars-and-4-bank-accounts-frozen-in-exchange-for-120-million-rupees-in-compensation-for-the-cattle-raid

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන "හරක් කටා" නමැත්තාට සම්බන්ධ රුපියල් කෝටි 12ක දැවැන්ත අල්ලස් සිද්ධියේ අතුරුදන් වූ මුදල් සෙවීමේ මෙහෙයුම තවදුරටත් පුළුල් කරමින්, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතාගේ රුපියල් කෝටි 4ක පමණ මුදලක් සහිත බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් තහනම් කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබේ.




අදාළ තහනම පිළිබඳව දැනුම්දීම සඳහා විමර්ශන නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ඔහු පදිංචිව සිටින රාජගිරියේ පිහිටි නිවාස සංකීර්ණය වෙත ගියද, ඔහු එහි නොසිටි බව කොමිසමේ ආරංචිමාර්ග තහවුරු කළේය.

මෙම නව විමර්ශනයට පදනම් වී ඇත්තේ මෙරට ආන්දෝලනයකට තුඩුදුන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි "හරක් කටා" නමැත්තා මුදාගැනීමේ සිද්ධියයි. රැඳවුම් නියෝග මත සිටි එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් කොමිසම ක්‍රියාත්මක විය.




ඊට අදාළව රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔවුන්ව ඇප මත මුදාහරිනු ලැබීය.

කෙසේ වෙතත්, සැකකරුවන් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක අතිවිශාල මුදල මෙතෙක් සොයාගැනීමට විමර්ශකයන්ට නොහැකි වී ඇත. එම අතුරුදන් වූ මුදල් සම්බන්ධයෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ ඔවුන්ගේ දේපළ ඉලක්ක කරගනිමින් අල්ලස් කොමිසම විසින් නව විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවය.



එම දේපළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස රඛිත රාජපක්ෂ මහතාට අයත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථ දෙකකට සහ බැංකු ගිණුම් හතරකට මෙලෙස තහනමක් පනවා ඇත. කොමිසමේ ආරංචිමාර්ග පවසන පරිදි අදාළ බැංකු ගිණුම්වල පමණක් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් තිබී ඇත.

පැනවූ මෙම තහනම සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ මහතාට වාචිකව දැනුම්වත් කිරීමට විමර්ශන නිලධාරීන් අපේක්ෂා කළද, අවස්ථා කිහිපයකදීම ඔහු නිවසේ නොසිටීම හේතුවෙන් අදාළ දැනුම්දීම ඔහුගේ බිරිඳ වෙත සිදුකළ බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

gossiplanka image
සම්බන්ධිත ලිපි