විදේශගතව සිට පැමිණෙද්දී තමන්ව ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත නිශ්ප්‍රභ කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය. අතීතයට බලපාන පරිදි සිදු කර තිබූ මෙම ඇප අයදුම සලකාබැලීම වන විටත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙන පසුබිමක එය මෙම අවස්ථාවේ නිශ්ප්‍රභවීම නිසා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති මහත්මියගේ රැඳවුම් නියෝගයේ වෙනසක් සිදු නොවේ.
මෙම ඇප ඉල්ලීම අද (12) පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය හමුවේ කැඳවනු ලැබිණි. එහිදී, ඇප අයදුම්පතේ වගඋත්තරකරු ලෙස නම් කර සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සිය කරුණු ඉදිරිපත් කළේය. එම කරුණු දැක්වීම් මැනවින් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.මෙම අපේක්ෂිත ඇප අයදුම්පත සම්බන්ධයෙන් මීට පෙර අධිකරණ ක්‍රියාදාමය සිදුවූයේ පසුගිය 05 වැනිදාය.
එදින ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇයගේ රෝග තත්වයන් ගැන අධිකරණයට කරුණු දක්වන ලදී. කෙසේ වෙතත් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත් නොවූ ඇය 07 වනදා අත්අඩංගුවට පත්විය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඇප අපේක්ෂාව මෙලෙස නිශ්ප්‍රභ වන නමුත් හෙට 13 දිනයේ යළි විභාග වන සිරිලිය මූල්‍ය වංචාව සම්බන්ධ නඩුවේදී නැවතත් ඇප ඉල්ලීමට ඇගේ නීතීඥ මහත්වරුන්ට අවස්ථාව තිබේ.
රඳවා සිටි කාලය තුළදී ඇය ඇස් රෝගයකට ප්‍රතිකාර ගන්නට පුද්ගලික රෝහලකට යාමට දැරූ උත්සාහය බන්ධනාගාර නීති අනුව ප්‍රතික්ෂේප වූ අතර ඇය ඇස් වාට්ටුවෙන් ප්‍රතිකාර ලබා නැවත වැලිකඩට ගියාය. මෙම අවස්ථාව වනවිට ශිරන්තිගේ වැඩිමල් පුතු නාමල් රාජපක්ෂ ක්‍රිෂ් ගනුදෙනුව නිසා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඇයගේ ස්වාමියා මහින්ද රාජපක්ෂ හදිසි රෝග තත්වයක් මත නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
