කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටුවක හෘද රෝගී තත්ත්වයක් සඳහා ප්රතිකාර ලබමින් සිටි දහතුන් හැවිරිදි පාසල් සිසුවකු හදිසියේම රෝහලෙන් අතුරුදන් වී තිබේ.
රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට, ඊයේ (19) දහවල් 11.00 පමණ වන තුරුත් මෙම දරුවා අදාළ රෝහල් වාට්ටුවේ රැඳී සිට ඇත. අතුරුදන් වන අවස්ථාවේදී ඔහු අත්දිග නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ අළු පැහැති කලිසමක් හැඳ සිටි බව පොලිසිය සඳහන් කරයි. වඩාත් අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ, රෝහලෙන් අතුරුදන් වන විටත් මෙම බාලවයස්කාර දරුවාගේ එක් අතකට කැනියුලාවක් සවි කර තිබීම බව බොරැල්ල පොලිසියේ නිලධාරියෙකු තහවුරු කළේය.
පුත්තලම, නංගිරම් ප්රදේශයේ පදිංචිකරුවකු වන මෙම සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දරුවා කඩිනමින් සොයාගැනීමේ අරමුණින් බොරැල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද පරීක්ෂණ සඳහා යොදවා ඇත.
මේ අතර, අතුරුදන් වූ සිසුවාගේ ගම්ප්රදේශය භාර පුත්තලම මූලස්ථාන පොලිසියද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බොරැල්ල පොලිසිය පියවර ගෙන තිබේ. හෘද රෝගී තත්ත්වයකින් පෙළෙමින්, අතක කැනියුලාවක්ද සහිතව අතුරුදන් වූ මෙම දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක වේ.