කුවේට් රාජ්යයේ සිට ශ්රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ජසීරා ගුවන් යානයක් තුළදී හදිසියේ දරුවකු ප්රසූත කළ ශ්රී ලාංකික ගෘහ සේවිකාවක පිළිබඳ පුවතක් කටුනායක ගුවන් තොටුපොළෙන් වාර්තා වේ. ඊයේ (19) අලුයම මෙම අසාමාන්ය අත්දැකීමට මුහුණ දී ඇත්තේ ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකි.
මීට වසර දෙකකට පමණ පෙර, එනම් 2024 වසරේදී ගෘහ සේවය සඳහා කුවේට් රාජ්යයට ගොස් ඇති ඇය සිය සේවා කාලය නිමවා නැවත මව්බිමට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබේ. සාමාන්යයෙන් දරු ප්රසූතියට ආසන්න ගැබිනි මව්වරුන්ට ගුවන් ගමන් සඳහා සහභාගී වීමට අවසර හිමි නොවන අතර, ගුවන් සේවා නිලධාරීන්ගෙන් සිය ගර්භණී තත්ත්වය වසන් කිරීම සඳහා ඇය සිරුරට තද වන පරිදි “ඩෙනිම්” වර්ගයේ කලිසමක් හැඳ සිටි බව තොරතුරු වාර්තා වේ.
කුවේට් සිටි ගුවන් තොටුපොළේ සිට ගමන් ඇරඹූ අල් ජසීරා ගුවන් සේවයට අයත් ජේ.එන්.- 551 දරන ගුවන් යානය ශ්රී ලංකාවට ළඟාවෙමින් තිබියදී ගුවන් යානය තුළදීම ඇයට ප්රසූත වේදනා හටගෙන ඇත. කෙසේ වෙතත්, ගුවන් සේවිකාවන්ගේ කඩිනම් සහාය මැද කිසිදු කරදරයකින් තොරව පිරිමි දරුවකු මෙලොවට බිහි කිරීමට ඇයට හැකි විය. තත්ත්වය වහාම වටහාගත් ගුවන් නියමුවා ඒ බව කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, එහි ප්රතිඵලයක් ලෙස යානය ගොඩබස්වන අවස්ථාව වන විටත් ගිලන් රථයක් සමග වෛද්යවරුන් සහ හෙදියන් යානය අසලටම කැඳවා සූදානම් කර තැබීමට පියවර ගෙන තිබුණි.
මෙම ගුවන් යානය ඊයේ අලුයම 02.52 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමෙන් අනතුරුව, මව සහ අලුත උපන් පිරිමි දරුවා කඩිනමින් මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනිණි. නව ජීවයක් ද රැගෙන ගුවන් මගින් පැමිණි එම මව සහ දරුවා යන දෙදෙනාම මේ වන විට යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වී තිබේ.