unable-to-bear-the-fb-criticism-for-giving-kavantissa-the-wrong-dosage---veterinarian-isuru-hewakottage-resigns

කාවන්තිස්ස හස්තියාගේ අවාසනාවන්ත මරණයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වූ දැඩි විවේචන සහ චෝදනා හමුවේ, වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවකොට්ටගේ මහතා වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ සිය රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. සිය භාරකාරත්වය යටතේ ප්‍රතිකාර ලබමින් සිටි කවන්තිස්සගේ මරණයෙන් පසු එල්ල වූ නොකඩවා පැවති ප්‍රසිද්ධ විවේචන සිය වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයට ද දැඩි ලෙස බලපෑම් කිරීම මෙම තීරණයට හේතු වී ඇත.




වසර 2016 දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එක්වූ වෛද්‍ය හේවකොට්ටගේ මහතා, අනුරාධපුර පඬුලගම ප්‍රදේශයෙන් සිය සේවය ආරම්භ කර පසුව නිකවැරටිය වනජීවී ඒකකය වෙත ස්ථාන මාරුවීම් ලැබීය. එතැන් පටන් වයඹ වනජීවී කලාපය තුළ වන අලීන් සහ හස්තීන් ඇතුළු සතුන් රැසකගේ ජීවිත බේරාගැනීමට ඔහු අමිල මෙහෙවරක් ඉටු කළේය. එපමණක් නොව, මුහුදේදී අනතුරට ලක්වන කැස්බෑවන් මුදාගෙන ප්‍රතිකාර කර නැවත සයුරට මුදාහැරීම සම්බන්ධයෙන් ද ඔහු විශේෂ ප්‍රවීණතාවක් හිමිකරගෙන සිටින වෛද්‍යවරයෙකි.

කෙසේ වෙතත්, මීට පෙර ඔහු විසින් ප්‍රතිකාර කළ තෙක්කා රාජා සහ භාතිය වැනි ප්‍රකට හස්තීන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වීමත්, පළමු වතාවට ඔහුගේ භාරයට පත් වූ කවන්තිස්ස හස්තියාට නිසි සැලකිල්ලක් නොදැක්වීම නිසා මෙම මරණය සිදුවූ බවටත් සමාජ මාධ්‍ය හරහා ඔහුට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩනැගුණි. එහෙත්, මේ දක්වා හෙළි වී ඇති තොරතුරුවලින් තහවුරු වන්නේ කවන්තිස්ස හස්තියාට ලබා දී ඇති සියලුම ප්‍රතිකාර නියමිත ඖෂධ මාත්‍රාවලට අනුකූලවම සිදු කර ඇති බවයි.




මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රවීණ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පෙන්වා දෙන්නේ, වනජීවී පශු වෛද්‍යවරුන් කිසිවිටෙකත් හිතුමනාපයට ඖෂධ ලබා නොදෙන බවයි. අදාළ රෙගුලාසි සහ ක්‍රමවේදයන්ට අනුව නියමිත ඖෂධ මාත්‍රාවන් ලබාදීම පමණක් පශු වෛද්‍යවරයකු විසින් සිදු කරන බවත්, වෛද්‍ය ඉසුරු හේවකොට්ටගේ මහතා ද අදාළ නිසි පටිපාටිය අනුගමනය කරමින්ම ප්‍රතිකාර ලබා දී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

කැපවීමෙන් යුතුව සිය රාජකාරිය ඉටු කළද, එල්ල වූ සමාජ මාධ්‍ය පීඩනය හමුවේ ඔහු වයඹ ඒකකයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ. එහෙත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්වීම පිළිබඳව ඔහු මෙතෙක් අදාළ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.

unable-to-bear-the-fb-criticism-for-giving-kavantissa-the-wrong-dosage---veterinarian-isuru-hewakottage-resigns