8-employees-questioned-over-disappearance-of-items-from-speakers-official-residence

කථානායකවරයාගේ නිල නිවසට අයත් භාණ්ඩ ලේඛනය අස්ථානගත වීමේ සිදුවීමට අදාළව එම නිවසේ සේවකයින් අට දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. කොමිසම හමුවට පැමිණෙන විට අදාළ අතුරුදන් වූ පොත ද රැගෙන එන ලෙසට ඔවුන්ට වැඩිදුරටත් නියෝග කර ඇත.

අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හරහා අදාළ සේවකයින්ට මෙම කැඳවීම සිදු කරනු ලැබ ඇත.




වාර්තා වන ආකාරයට මෙම භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන් වී ඇත්තේ කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් දියත් කර ඇති පසුබිමක් තුළදීය. මෙම කැඳවීමට අනුව ඊයේ එනම් 02 වැනිදා එක් සේවකයෙකු අල්ලස් කොමිසම වෙත පැමිණි අතර, එහිදී විමර්ශකයින් විසින් ඔහුගෙන් ප්‍රශ්න කර අදාළ ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.

ඉතිරි සේවකයින් හත් දෙනාට එළඹෙන 12, 13, 15 සහ 16 යන දිනයන්හිදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නියම කර ඇත. මීට අමතරව, මෙම සිදුවීමට අදාළව කථානායක නිල නිවසෙහි කළමනාකාරවරයා වන පසන් අතුකෝරල මහතාගෙන් ද පසුගිය දිනෙක අල්ලස් කොමිසම මගින් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබීය. එහිදී ඔහුගෙන් පැය පහකට ආසන්න කාලයක් තිස්සේ කරුණු විමසා ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති බව සඳහන් වේ.




වර්තමාන කථානායකවරයා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි කථානායක නිල නිවස, 2025 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන ලද අතර මාලිමා පක්ෂ ප්‍රතිපත්ති අනුව නිල නිවසේ පදිංචි නොවී කොල්ලුපිටියේ පිහිටි රජයේ නිල නිවසක පදිංචියට ඔහු ගොස් තිබුණි. කෙසේ වෙතත් එම පහසුකම් රහසින් භුක්ති විදිමට වත්මන් කතානායකවරයා දැරූ උත්සාහයක් නිසා මෙම ගැටලුව මතුවිය. 

කෝට්ටේ කථානායක නිල නිවසේ තිබූ වටිනා ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මෙට්ට සහ කුස්සි උපකරණ ඇතුළු භාණ්ඩ කොල්ලුපිටියේ පිහිටි නිල නිවසට ගෙන ගොස් ඇති බවට මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා මුලින්ම චෝදනා කිරීමෙන් පසු මෙම ගැටලුව සාකච්ඡාවට ලක් විය.