පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් විසින් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය සහ ගිනිඅවි ගබඩා කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින විත්තිකරුවන් දෙදෙනෙකු තම වරද පිළිගැනීමට සූදානම් බව අධිකරණයට දැනුම් දී තිබේ. මීගමුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අබු හනීෆා මොහොමඩ් මුෆීඩ් සහ අමීර් හම්සා මොහොමඩ් හමාස් යන විත්තිකරුවන් විසින් මෙලෙස තමන්ට එරෙහිව ඇති සියලු චෝදනාවලට වරද පිළිගැනීමට එකඟත්වය පළ කර ඇත.
මෙම නඩුව ලාල් බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනේ. වරද පිළිගැනීමට සූදානම් වන දෙදෙනාට අමතරව, පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන නඩුවේදී වසර 200කට අධික බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින විත්තිකරුවන් සිව්දෙනෙකු ද මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත. මොහොමඩ් සාරික් ආදම් ලෙබ්බේ, මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් සහ මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිද් යනු එම විත්තිකරුවන් සිව්දෙනා වන අතර, ඔවුන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. ඊට අමතරව ඇප මත මුදා හැර සිටි අනෙක් විත්තිකරුවන් දෙදෙනා ද අධිකරණයේ පෙනී සිටියහ.
2018 වසරේදී හෝ ඊට ආසන්න කාලයකදී වනාතවිල්ලුව ලැක්ටෝස්වත්තේදී නයිට්‍රේට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය, ජෙලග්නයිට් කූරු, ගිනිඅවි මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා නයිට්‍රික් ඇසිඩ් සහ යූරියා නීති විරෝධී ලෙස රැස්කර තබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අධිචෝදනා 14ක් යටතේ නඩු පවරා තිබේ. කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, ලබන 05 වැනිදා සිට මෙම නඩුව දිනපතා විභාගයට ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව, අදාළ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ ස්ථාවරය එදිනට අධිකරණයට දැනුම් දෙන ලෙසට විනිසුරුවරුන් විසින් නියෝග කරනු ලැබූ අතර, නඩුව ලබන සඳුදා (05 වැනිදා) යළි කැඳවීමට නියමිතය.

