
හොරණ, ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයෙකු වන පියෙකුට ඔහුගේ 27 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා විසින් මන්නා පිහියකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇත. මෙම පහරදීමෙන් තුවාල ලැබූ ගුරුවරයා මේ වන විට රෝහල්ගත කර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලට අනුව මෙම සිද්ධිය ආරම්භ වී ඇත්තේ පියා බීමතින් නිවසට පැමිණ 19 හැවිරිදි බාල පුත්‍රයා සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙනි. එහිදී පියා විසින් තමන් ආහාර ගනිමින් සිටි පිඟානෙන් බාල පුතුට පහර දී ඇති අතර, එම පහරින් හිසට තුවාල සිදුවූ 19 හැවිරිදි පුත්‍රයා එතැනම සිහිසුන්ව ඇද වැටී තිබේ. තම බාල සහෝදරයාට කළ මෙම පහරදීම දැකීමෙන් කෝපයට පත් වූ 27 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා මන්නා පිහියක් රැගෙන පියාට පහර දීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී පියා වෙනත් පිහියක් ආධාරයෙන් මන්නා පිහිය වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනා අතර දැඩි පොරබැදීමක් සිදුවී තිබේ.
මෙම පොරබැදීම අතරතුර වැඩිමහල් පුත්‍රයාගේ හිසට ද තුවාල සිදුවී ඇති අතර, ඉන් අනතුරුව ඔහු විසින් පියාට මන්නා පිහියෙන් පහර දී ඇත. මෙම මන්නා පිහි ප්‍රහාරයෙන් පියාගේ හිස, අත සහ සිරුරේ ස්ථාන හයකට වඩා වැඩි ප්‍රමාණයකට දැඩි ලෙස තුවාල සිදුවී තිබේ. පොලිසිය පවසන පරිදි බරපතළ තුවාල ලැබූ ගුරුවරයාගේ හිසට සහ අතට මැහුම් 46ක් පමණ දමා ඇත.
සිද්ධියෙන් පසු තුවාල ලැබූ පියා සහ පුතුන් දෙදෙනාම නිවසේ සිටි මව සහ ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව වයස අවුරුදු 27 සහ 19 යන වයස්වල පසුවන පුතුන් දෙදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතාගේ උපදෙස් මත මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන්වරුන් වන ගිහාන් (14934), නෙත්මි බණ්ඩාර (30787), ජනක (14934) ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් වන සඳරුවන් (88126), ළහිරු (13022), සමන් (78834) සහ කාන්තා පොලිස් කොස්තාපල් ඉෂාන්ති (9208) යන නිලධාරීහු මෙම විමර්ශන කටයුතු සිදු කරති.

