දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල අද (05) දිනයේ දක්නට ලැබුණු පෝලිම් තත්ත්වය සම්බන්ධයෙන් කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර තබාගැනීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් හෝ සැපයුම් බිඳවැටීමක් නොමැති බව අවධාරණය කරන එම සංගමයේ සභාපති ඒ.එම්.එච්.
අධිකාරි මහතා පෙන්වා දෙන්නේ, ඇතැම් පිරවුම්හල් හිමියන් විසින් නිසි වේලාවට සිය ඇණවුම් ලබානොදීම හේතුවෙන් මෙලෙස පෝලිම් නිර්මාණය වී ඇති බවයි.කෙසේ වෙතත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩී.වී. ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ, මෙරට ඉන්ධන බෙදාහරින ලංකා අයි.ඕ.සී, සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇණවුම් නොකිරීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි. පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව පවසමින් එම සමාගම් සිය සතිපතා ඇණවුම් ප්‍රමාණයන් සැලකිය යුතු ලෙස සීමා කර ඇති අතර, මේ හේතුවෙන් එම සමාගම් තුනට අයත් පිරවුම්හල්වල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බව ඔහු සඳහන් කරයි.
තමන් මිලදී ගන්නා මුදලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම නිසා බෙදාහැරීම් සීමා කරන බව අදාළ සමාගම් විසින් මීට පෙරද පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී තිබුණි. මෙම අර්බුදය සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා රැස්වී සාකච්ඡා කළ ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය, ඊට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට බලධාරීන්ට අනතුරු ඇඟවීමක්ද සිදු කළේය. එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෑතකදී සිදුකළ මිල සංශෝධනය හරහා ඉන්ධන මිල ඉහළ නැංවීමට මෙන්ම ඩීසල් ලීටරයක් සඳහා රජයේ සහනාධාරයක් ලබාදීමටද පියවර ගැනුණි. එහෙත් එම සහනාධාරය හමුවේ වුවද තමන් තවදුරටත් අලාභ ලබන බව සමාගම් තුනේ ස්ථාවරය වී තිබේ.
මෙම විදේශීය සමාගම්වලට අයත් පිරවුම්හල්වල යම් ඉන්ධන හිඟයක් දක්නට ලැබුණද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) අයත් පිරවුම්හල් නියමිත වේලාවට සිය ඇණවුම් සිදුකරන්නේ නම් එහි ඉන්ධන හිඟයක් ඇතිවීමේ කිසිදු හැකියාවක් නොමැති බව බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත්, අදාළ සමාගම් තුන සිය පාඩුව පියවාගැනීමේ ගැටලුව නිරාකරණය කර නොගතහොත් ජනතාවට මුහුණදීමට සිදුව ඇති මෙම පෝලිම් තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි බවට ඔවුහු විශ්වාසය පළ කරති.
මේ අතර, ඉන්ධන ප්‍රවාහනය වෙනුවෙන් ගෙවනු ලබන කොමිස් මුදල් සම්බන්ධයෙන්ද පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අදහස් පළ කර තිබේ. එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ වත්මන් කොමිස් ගණනය කිරීමේ සූත්‍රය තුළ වතුකරයේ සහ දකුණු පළාතේ ප්‍රවාහන වියදම් නිසි පරිදි සැලකිල්ලට ගෙන නොමැති බැවින් එම ක්‍රමවේදය කඩිනමින් සංශෝධනය විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සංගමය විසින් බලධාරීන්ට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර, මඟහැරී ඇති අංගයන්ද ඇතුළත් කරමින් අදාළ ගණනය කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

