it-wasnt-hidden-my-lord-because-there-was-no-signal-in-the-forest-i-didnt-know-about-the-warrant

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව එම දඬුවමේ ඉතිරි කාලය ගෙවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස අභියාචනාධිකරණය අද (05) පොලීසියට නියෝග කළේය. මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුකරය අද දින සලකා බලනු ලැබීය.




2016 ජනවාරි 03 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කළ ප්‍රකාශයක් හරහා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට 2018 වසරේදී උන්වහන්සේට වසර දහනවයක සිරදඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කෙරිණි. ඉන්පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ ජනාධිපති සමාව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බලරහිත කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුකරය කැඳවා තිබුණි.

එම මෝසමට අනුව අධිකරණයේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසිවලට ඥානසාර හිමියන් නොපැමිණීම හේතුවෙන් පළමුව වරෙන්තුවක් ද, පසුව දුටු තැන අත්අඩංගුවට ගැනීමේ විවෘත වරෙන්තුවක් සහ ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙමින් විදේශ ගමන් තහනමක් ද අධිකරණයෙන් නිකුත් කර තිබිණි.




අද දින අධිකරණය හමුවේ ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න මහතා සමඟ පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර මහතා සඳහන් කළේ, උන්වහන්සේ කිසි විටෙකත් අධිකරණය මඟහැර පලා නොගිය බවත්, නිකායේ නායක හිමිවරුන්ගේ උපදෙස් මත තීනියාවල ආරණ්‍ය සේනාසනයට වැඩම කර සිටි බවත්ය. එම ස්ථානයේ ජංගම දුරකථන සංඥා නොමැති වීම හේතුවෙන් සිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වූ ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා සමඟ සම්බන්ධ වී අධිකරණ නියෝග පිළිබඳව දැනුවත් වීමට නොහැකි වූ බවද හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය. ඥානසාර හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන බව දක්වමින් වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කළ නීතිඥවරයා සිය සේවාදායකයා වෙනුවෙන් මෙලෙස කරුණු දැක්වීය.

"ස්වාමීනී, වගඋත්තරකාර හිමියන් පසුගිය දිනවල මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයකට පත්වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා. මානසික වශයෙන් විවේකයක් ලබා ගැනීම සඳහායි උන්වහන්සේ එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මග හැරයාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ."



අධිකරණය - "එසේ නම් වගඋත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු නොකළේ ඇයි?"

නීතිඥවරයා - "ස්වාමීනි, වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා (Signal) දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරු සම්බන්ධ කරගෙන උපදෙස් ලබා දෙන්න බැරි වුණේ. ස්වාමීනී, වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට මා බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව සපයාදිය යුතු බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවෙත් සඳහන් කර තිබෙනවා. එම නිසා උන්වහන්සේට බන්ධනාගාරය තුළදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ඊට අමතරව ඥානසාර හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සම්බන්ධයෙන් වූ නියෝග නිකුත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා "

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සමඟ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

" ස්වාමීනී, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වගඋත්තරකාර ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් සිර දඬුවම් නියම කළා. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වැනිදා උන්වහන්සේට ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා. එහෙත් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කරන ලද සමාව නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව තමයි මේ මෝසම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ. මේ අවස්ථාවේ අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස"

නීතිඥ සුදත් ජයසුන්දර - ‘ස්වාමිනී, මගේ සේවාදායක හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

විනිසුරු මඩුල්ල - වගඋත්තරකාර හිමියන් වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා තිබෙනවා. එබැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකියි.

2016 ජනවාරි 03 වැනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අවසරයකින් තොරව අධිකරණයට අපහාස කරමින් ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට, වසර 19ක සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි 2018 වසරේදී අභියාචනාධිකරණය මගින් නියම කර තිබිණි. ඉන්පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට මාස 7 කට පසු ජනපති සමාවක් ප්‍රදානය කළ අතර, එම සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ජනාධිපති සමාව බලරහිත කරනු ලැබීය. ඒ අනුව ඉතිරි වසර 5 මාස 5 සඳහා සිර දණ්ඩනය සඳහා හිමියන්ව රැගෙන යනු ලැබිණි.