සමාජ මාධ්‍යයේ පළ කර මිනිත්තු කිහිපයකින් මකා දැමූ එක් කෝප සහගත සටහනක්, ජීවිතයක් මරණයේ එළිපත්තටම රැගෙන යනු ඇතැයි ඔහු කිසිදා නොසිතන්නට ඇත. නමුත් අද වන විට, අම්පාර කල්මුණේ නට්පිඩ්ඩිමුනෙයි, වයල් පාරේ පදිංචි සිවරාසා අනෝජන් නැමැති තරුණයා සෞදි අරාබියේ මරණ දඬුවමට නියම වූ සිරකරුවෙකි.
ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වූ තීරණාත්මක මෙහෙයුමක් ලෙස, සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් අද (06) රියාද් නුවර බලා පිටත්ව යනු ඇත. අභියාචනය ඔක්තෝබර් 17 වැනිදාට පෙර ගොනු කළ යුතු බව පැවසෙයි.නමුත් මේ මොහොත වන විටත් අනෝජන් පසුවන්නේ දැඩි අවදානමකය. බීබීසී දෙමළ සේවය වාර්තා කරන්නේ ඔහු දුරකථන පහසුකම් පවා නොමැති, මරණ දඬුවම් නියම වූවන් රඳවා සිටින බන්ධනාගාරයකට මාරු කර ඇති බවයි. පවුලේ අයට ඔහුගේ හඬ අවසන් වරට ඇසී ඇත්තේ සැප්තැම්බර් 28 වැනිදා පමණය. ඔක්තෝබර් 5 වැනිදා බන්ධනාගාරයේ වෙනත් රැඳවියන් පිරිසක් ඔහුට පහර දී හිසට තුවාල කර ඇති බවට ක්‍රියාකාරිකයෙකු වන රාජ්කුමාර් රාජීව්කාන්ත් ප්‍රකාශ කර ඇතත්, එය රජය විසින් ස්වාධීනව තහවුරු කර නොමැත.
අනෝජන් යනු සිය පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා බව ඔහුගේ මව වන රාසමානික්කම් යෝගලක්ෂ්මි පවසන්නීය. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කර ඇති 27 හැවිරිදි ඔහු, රැකියාවක් සඳහා පසුගිය වසරේ සෞදි අරාබියට ගියේය. ඔහු සෞදි ආරාම්කෝ හි කොන්ත්‍රාත් සමාගමක් වන 'Denys' හි ඉදිකිරීම් භූමි ආරක්ෂක නිලධාරි අභ්‍යාසලාභියෙකු ලෙස සේවය කළ බව පැවසෙයි.
ඔහුගේ ඉරණම වෙනස් වූයේ පසුගිය ජූනි මාසයේ ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍යයේ ඇති වූ වාදවිවාදයක් හේතුවෙනි. ජූනි අගභාගයේදී, යාපනයේ සිට කතරගම දක්වා ගිය වාර්ෂික හින්දු පාද යාත්‍රාවක වන්දනාකරුවන් සමඟ ගමන් කළ "සුබ්‍රමනී" නම් සුනඛයෙකු සමාජ මාධ්‍යවල ජනප්‍රිය විය. කල්මුණේදී තරුණයෙකු එම සතාට පයින් ගසන වීඩියෝවක් පසුව සමාජ මාධ්‍ය පුරා පැතිරුණු අතර, අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණි. මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ දින ගණනාවක් පුරා ජනවාර්ගික හා ආගමික මත ගැටුමක් නිර්මාණය කළේය.
ජූනි 28 වැනිදා පමණ, මෙම විවාදය අතරතුර එක් පරිශීලකයෙකු හින්දු දෙවියෙකුට අපහාස කරමින් අදහස් දැක්වීමෙන් පසු, ඊට එකට එක කිරීමක් ලෙස සවුදියේ සිටි අනෝජන් මුහම්මද් නබිතුමාට අපහාස වන අයුරින් දෙමළ භාෂාවෙන් සටහනක් පළ කළේය. ඔහු එය මිනිත්තු කිහිපයකින් ඉවත් කළ අතර, කෝපයෙන් එසේ කළ බවත් එය බරපතල වරදක් බවත් පවසමින් මුස්ලිම් ජනතාවගෙන් සමාව අයැද වීඩියෝවක් ද පළ කළේය. එහෙත්, ඒ වන විටත් ශ්‍රී ලංකාවේ සිටි පිරිසක් එම සටහනේ තිර රුවක් ගෙන, අරාබි භාෂාවට පරිවර්තනය කර ඔහුගේ සේවා ආයතනයටත් සෞදි බලධාරීන්ටත් ඊමේල් මගින් යවා තිබුණි. අනෝජන්ගේ සහෝදරයා බීබීසීයට පවසා තිබුණේ, ශ්‍රී ලංකාවේ පුද්ගලයින් එසේ යවන තුරු සෞදියේ කිසිවෙකු මේ පිළිබඳව දැන නොසිටි බවයි.
ජූලි 2 වැනිදා සෞදි පොලිසිය විසින් අනෝජන් අත්අඩංගුවට ගත් අතර, සහෝදරයා පවසන පරිදි නඩු විභාගයේදී ඔහුට නීතිඥ සහායක් ලැබී නොමැත. ජූලි මාසයේදී අල්-අහ්සා අපරාධ අධිකරණයේ විනිසුරු මඬුල්ලක් හමුවේ ඔහු තම වරද පිළිගත්තේය. සෞදි සයිබර් අපරාධ නීතිය යටතේ ආගමික වටිනාකම්වලට හානි කරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ නබිතුමාට වාචිකව අපහාස කිරීම යන චෝදනා දෙකටම වැරදිකරු වූ ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක (රුපියල් මිලියන 264ක් පමණ) දඩයක් නියම විය.
ඛේදවාචකය උත්සන්න වූයේ අගෝස්තු 24 වැනිදා මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමත් සමඟය. එම අභියාචනයෙන් ඔහුගේ වරද ප්‍රතික්ෂේප නොකළ අතර, පැමිණිල්ල ද ඊට සමගාමීව වඩාත් දැඩි දඬුවමක් ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කළේය. සැප්තැම්බර් 17 වැනිදා නැගෙනහිර පළාත් අභියාචනාධිකරණය අනෝජන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැමිණිල්ලේ අභියාචනය පිළිගත්තේය. ඒ අනුව දඩ මුදල ඉවත් කෙරුණු අතර, වසර පහේ සිර දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ නැංවිණි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙම කරුණ තහවුරු කළේය.
මෙම අභියාචන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැන් බරපතල ප්‍රශ්න මතු වී තිබේ. 'Jaffna Monitor' පුවත් වෙබ් අඩවිය සමාලෝචනය කළ ලේඛනවලින් හෙළි වන්නේ, අභියාචනයක් සාර්ථක වීමේ හෝ දඬුවම අඩු වීමේ හැකියාව "අතිශයින් අඩු" බවට අගෝස්තු මුලදීම සෞදි තානාපති කාර්යාලයට නීති උපදෙස් ලැබී තිබූ බවයි. සෞදි නීති ක්‍රියාවලිය තුළ අභියාචනයකින් දඬුවම වැඩිවීම වළක්වන ආරක්ෂාවක් නොමැත. ඉලංකෛ තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් චෝදනා කරන්නේ, දඬුවම වැඩි විය හැකි බවට පවුලේ අයට කිසිදු අනතුරු ඇඟවීමක් නොකර නියෝජ්‍ය විදේශ අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රගේ උපදෙස් මත පවුල අභියාචනයට යොමු වූ බවයි. අභියාචන කටයුතු වෙනුවෙන් පවුලේ සාමාජිකයින් විදේශ අමාත්‍යාංශ ලේකම්ගේ අදාළ ගිණුමකට රුපියල් 1,890,766ක මුදලක් ද ගෙවා තිබුණි.
දැන් සමස්ත අවධානය යොමුව ඇත්තේ නෛතික හා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හරහා ඔහුගේ ජීවිතය බේරා ගැනීම කෙරෙහිය. සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනෝජන්ගේ දෙමාපියන් හමුවූ අතර, සෞදි රජුගෙන් සමාව ඉල්ලීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී පැවසීය. නීති වියදම් රජය විසින් දරන බව පවසන අතර සෞදි නීති ආයතන දෙකක සේවය ද ලබාගෙන ඇත. සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව ඔක්තෝබර් 17 වැනිදාට පෙර අභියාචනය ගොනු කළ යුතු බැවින්, අතිරේක සොලිසිටර් ජනරාල් අසාඩ් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන්ගෙන් යුත් නීති කණ්ඩායම අද සෞදියට පිටත්ව යති. මීට අමතරව, ජනාධිපතිවරයාගේ සමා ඉල්ලීමේ ලිපිය රැගෙන යාම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් වෙනම පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් යැවීමටද යෝජනා වී තිබේ. අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර එය තවදුරටත් තහවුරු කර රාජකීය අනුමැතිය ලැබිය යුතු බවයි.
මේ අතර, අනෝජන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ දැවැන්ත සහයෝගයක් ගොඩනැගෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, වී. රාධක්‍රිෂ්ණන්, ජීවන් තොණ්ඩමන්, සෙල්වම් අඩෛක්කලනාදන් සහ ශානක්කියන් රාසමානික්කම් යන මහත්වරුන් සැප්තැම්බර් 24 වැනිදා සෞදි විදේශ අමාත්‍යවරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කළේ මෙම ක්‍රියාව අනෝජන්ගේ ස්වභාවය නොවන බවයි. බෞද්ධ හා හින්දු පූජකවරුන් සැප්තැම්බර් 30 වැනිදා මේ වෙනුවෙන් සංදේශයක් භාර දුන්හ. #Royalpardonforanojan යන තේමාව යටතේ නට්පිඩ්ඩිමුනෙයි සිට උතුරු නැගෙනහිර පුරා අත්සන් එකතු කිරීම් සහ ඉටිපන්දම් දැල්වීමක් ද පැවැත්වේ.
සමාජ මාධ්‍යයේ එක් නිමේෂයක සිදුවූ අත්වැරදීමක් ජීවිතයක මිල තීරණය කරන මොහොතක, තම පුතු වෙනුවෙන් බීබීසී මාධ්‍යයට අදහස් දැක්වූ ඒ අසරණ මවගේ ඉල්ලීම සමස්ත සිද්ධියේම ඛේදවාචකය මනාව කැටි කර දක්වයි.
"මගේ පුතා කළ වැරදි වෙනුවෙන් මම සමාව අයදිමි. කරුණාකර ඔහුට සමාව දී ඔහුව නැවත අප වෙත එවන්න."

