ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විනය පිටකයට අනුව පාරාජිකා වූ භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් තමන්ගේ සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ප්‍රධාන ලේඛකාධිකාරී, සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහාපණ්ඩිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක මාහිමියන් පවසයි.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ශාසනික වශයෙන් විනය පරීක්ෂණයක් පවත්වා, සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම පිළිබඳ තීරණය ගැනීම සිය සංඝ සභාවට පමණක් අයත් වගකීමක් බවද උන්වහන්සේ අවධාරණය කරයි.
අද (06) දිනැතිව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කළ ලිපියක් මගින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
ඥානසාර හිමියන් මහාවිහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවක් බව සඳහන් කරන ලිපියේ, උන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති තීන්දුවට කිසිදු විරෝධයක් හෝ අදහසක් ඉදිරිපත් නොකරන බවත්, අධිකරණයේ උත්තරීතරභාවය ඉහළින්ම පිළිගන්නා බවත් පැහැදිලිව දක්වා තිබේ.
කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පළවන ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව සිය අවධානය යොමු වූ බව රාහුල අනුනායක හිමියන් එහි සඳහන් කරයි.
භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ එම භික්ෂුව පැවිදි කළ භික්ෂුවට හා ඒ භික්ෂුව අයත් මහා සංඝ සභාවට බව ලිපියේ වැඩිදුරටත් දැක්වේ. රටේ දැනට තහවුරු වී ඇති ක්‍රමවේදය අනුව, එය අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම සිදු විය යුතු ශාසනික කාර්යයක් බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
ශාසනික නීතියට අනුව සිවුර පොරවා සිටීමට හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම, අදාළ භික්ෂුව පිටතට රැගෙන එන සෑම අවස්ථාවකම නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදීම මෙතෙක් ශාසනිකව හා අධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියක් බව ලිපියේ සඳහන් වේ. එම සම්ප්‍රදාය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවද උන්වහන්සේ අනතුරු අඟවයි.
මෙම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලය හරහාත්, බුද්ධශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා වෙතත් යොමු කර තිබේ.

