68-people-attend-political-march-for-gnanasara-thero-on-first-day

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසත්, සිරගෙදරදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට එරෙහිවත් ඊයේ (10) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අබියසින් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය’ පාද යාත්‍රාව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි උපහාසයට මෙන්ම මහජන විවේචනයට ලක්වෙමින් තිබේ. ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කළ ද, ඊයේ දිනයේ මහනුවර සිට කඩුගන්නාව දක්වා පැමිණි ගමනට සම්බන්ධ වී සිටියේ 68 දෙනෙකු පමණක් වීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.




පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ අදහස් දැක්වීම්වලට අනුව, මහා සංඝරත්නයේ ආගමික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණ ද සහිතව ඇරඹි මෙම "ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව" කඩුගන්නාවෙන් අද (11) සිය දෙවන දිනය අරඹා කෑගල්ල දක්වා ගමන් කිරීමට නියමිතය. හෙට (12) දිනයේදී කෑගල්ලේ සිට වරකාපොළ දක්වාත්, අනතුරුව නිට්ටඹුව, කඩවත පසුකරමින් ලබන 15 වැනිදා කොළඹට ළඟා වීමටත් සැලසුම් කර තිබේ. කෙසේ වෙතත්, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු සහ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වෙන වෙනම සලකා බැලිය යුතු බවට ද ඇතැම් වාර්තා පෙන්වා දෙයි.

නීතිය සහ අධිකරණ තීන්දු අභියෝගයට ලක් කරමින් දියත් කර ඇති මෙම ගමන පිළිබඳව පුරවැසියන් දක්වන්නේ දැඩි විරෝධයකි. මෙය "දැවැන්ත" පාගමනක් ලෙස සංවිධායකයන් හැඳින්වීමට උත්සාහ කළ ද, සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන බහුතරයක් ජනතාව එය හාස්‍යයට ලක් කර ඇත්තේ, ගමේ මළගෙයක මිනියක් ගෙනයන විට පවා මීට වඩා සෙනඟක් ගැවසෙන බව පවසමිනි. පාද යාත්‍රාවේ ගමන් කරන භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 17ක්, 20ක් හෝ 50ක් තරම් අතලොස්සක් බවට නිරීක්ෂණය කරන ජනතාව, කැමරාව ඉදිරියේ පමණක් පයින් ගමන් කර අනෙක් වේලාවට අති සුඛෝපභෝගී රථවලින් ගමන් කරන බවට ද චෝදනා එල්ල කරති.




සිය සැබෑ සමාජ වගකීම අමතක කළ ඇතැම් චීවරධාරීන්ගේ හැසිරීම් පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන්නේ දැඩි කලකිරීමකිනි. තමන්ට දානය දුන් අහිංසක මිනිසුන් තෙල් පෝලිම්වල මියයන විට හෝ අටමස්ථානාධිපතිවරයෙකු අතින් වයස අවුරුදු 14ක දැරියක් අපයෝජනයට ලක් වූ අවස්ථාවේ හෝ මහමඟට නොබැසූ පිරිසක්, අධිකරණයෙන් වරදකරුවෙකු වී බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ පුද්ගලයෙකු වෙනුවෙන් පාරට බැසීම සමාජයේ දැඩි පිළිකුලට ලක්ව තිබේ. මෙය හුදෙක් දේශපාලන පක්ෂවල න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමක් බවත්, "සිවුර" නැමැති පූජනීය සංකේතය තමන්ගේ අරමුණු වෙනුවෙන් භාවිත කරන "තක්කඩි" ක්‍රියාවක් බවටත් සමාජ මාධ්‍ය පරිශීලකයෝ විවෘතවම චෝදනා කරති.

අග්ගමහාපණ්ඩිත බලංගොඩ ආනන්දමෛත්‍රෙය මහනාහිමි, මහාචාර්ය වල්පොල රාහුල හිමි, සහ හේන්පිටගෙදර ඤාණසීහ හිමි වැනි ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා බුදුදහමේ දාර්ශනික පදනම සහ මානුෂීය හරය සමාජයට සමීප කළ ආකාරය මෙහිදී ජනතාව යළි යළිත් සිහිපත් කරති. බුද්ධ ශාසනයේ ආයුෂය රඳා පවතින්නේ විනය මත බව පෙන්වා දෙන ඔවුන්, විනයක් නොමැතිව හැසිරෙන පිරිස් සසුනෙන් පළවා හැරිය යුතු බවටත්, නීතිය කිසිවෙකුටත් වෙනස් නොවිය යුතු බවටත් අවධාරණය කර ඇත.



ඔක්තෝබර් 15 වැනිදා කොළඹට ළඟා වීමට නියමිතව ඇති මෙම පාද යාත්‍රාව, ආණ්ඩුවට දේශපාලන පීඩනයක් එල්ල කරනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කළ ද, එය මේ වන විටත් සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ පවා ප්‍රතික්ෂේපයට ලක්ව අවසන් බවක් පෙනෙන්නට තිබේ. සාධාරණ සමාජයක් ඉල්ලා සිටින ශ්‍රී ලාංකිකයන් එක හඬින් පවසන්නේ, වැරදිකරුවන් ආරක්ෂා කරන දේශපාලනික නාටක වෙනුවට, සැබෑ බෞද්ධ දර්ශනයේ එන සංවරය සහ ප්‍රඥාව යළිත් ශ්‍රී ලාංකීය සංඝ සමාජය තුළ ස්ථාපිත විය යුතු බවයි.

gossiplanka image