පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම පිටුපස රජයේ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, නිලධාරීන් ක්‍රියාත්මක වී ඇත්තේ පෙර පැවති නීතිමය තත්ත්වයන් යටතේ ලබා දුන් අධිකරණ තීන්දුවකට අනුකූලව බව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ආණ්ඩුවට පෙර අවබෝධයක් නොතිබූ බව නිපුණආරච්චි මහතා පිළිගනී. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගැඹුරින් සොයා බැලීමට පෙළඹී ඇත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීමෙන් පසුවය.
එම සොයාබැලීම්වලට අනුව, යම් යම් අපරාධයන්ට වරදකරුවන් වී දඬුවම් ලබන භික්ෂූන් වහන්සේලා හැටතුන් නමක් මේ වන විටත් බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. බෞද්ධ රටක ජීවත් වන බෞද්ධයන් මෙන්ම පෘථග්ජන මිනිසුන් ලෙසත්, භික්ෂූන් වහන්සේ නමක් වැරැද්දක් කරනවා දැකීමට හෝ සිරගත වනවා දැකීමට කිසිවෙකුත් අකමැති බව මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.
ඥානසාර හිමියන්ගේ රැඩිකල්භාවය වෙනමම තත්ත්වයක් බවත්, භික්ෂූන් වහන්සේ නමකට යම් රැඩිකල්භාවයක් තිබීමේ අවශ්‍යතාවක් පවතින බවත් පවසන ඔහු, ඒ හැර උන්වහන්සේ සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවද පැහැදිලි කළේය.
මෙම සංවේදී ගැටලුව විමසා බැලීම සඳහා මේ වන විටත් රජය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, ඊට අදාළව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නීති සම්පාදනය කිරීම ඉදිරි සති දෙකක කාලය ඇතුළත සිදු කරන බව ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා වැඩිදුරටත් තහවුරු කළේය.
ඔහුගේ ප්‍රකාශය පහතින්
“ ඇත්තටම මේ අපිට වුණත් කම්පනයක් තියෙනවා අපි දන්න හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේගේ රැඩිකල්භාවය ඒක වෙනයි. ඒක ඉතින් හාමුදුරුනමකගේ රැඩිකල්භාවයකුත් තියෙන්නේ ඕනා. ඉතින් ඒක නිසා ඒ හැර අපිට දකින හාමුදුරුවොත් එක්ක තියෙන කිසි ගැටලුවක් නෑ. නමුත් අපිට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙච්ච නීතිමය තත්වයක් යටතේ තමයි ඊට පස්සේ අධිකරණය තීන්දු දීලා තියෙන්නේ. ඉතින් ඒ අධිකරණ තීන්දුව අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ.
එතකොට අපි උනත් දන්නේ නෑ එහෙම බන්ධනාගාරෙ ඇතුලේ කොයි විදිහටද වැඩ කටයුතු කරන්නේ කියලා, එය සිද්ධියෙන් තමයි අපි දන්නේ. ඊට පස්සේ තමයි අපි මේ හොයලා බැලුවේ මොකක්ද කියලා. එතකොට බලාගෙන යනකොට අච්චු ලබපු හැටතුන් නමක්ම මේ බන්ධනාගාරේ ඉන්නවයි කියලා කියන්නේ. එතකොට අපි කොහොමත් කැමති නෑ ඒ දේට.
අපි බෞද්ධයෝ හැටියටත්, බෞද්ධ රටක් හැටියටත් එහෙම වෙනවට කැමති නෑ. එහෙම වෙනවට කියලා කියන්නේ අපි හාමුදුරුනමක් වැරැද්දක් කරනවා කියලා දකින්න වුණත් අපි කැමති නෑනේ. අපි පෘථග්ජන මිනිස්සු හැටියට. ඉතින් ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති සම්පාදනය සඳහා සති දෙකක් ඇතුලත කටයුතු කරයි. ඒකට කමිටුවක් පත් කරලා දැන් තියෙන්නේ.”
