ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිවලට සහ සීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් අද (03) කොළඹදී පැවැත්වූ විරෝධතාවක් අතරතුර පුද්ගලයින් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී රැස්වීමකට සහභාගී වීමේ චෝදනාව මත අදාළ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට පත් වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.අධිකරණ අවසරයකින් තෙරව නීති විරෝධී රැස්වීමකට මහජනයාට අවහිර වනසේ කටයුතු කිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
‘ජීවන බර අඩු කරනු - පොරොන්දු ඉටු කරනු’ යන තේමාව මුල් කරගනිමින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා පා ගමන අද පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටිය අසලින් ආරම්භ විය. අනතුරුව එම පිරිස බොරැල්ල මංසන්ධිය සහ මරදාන හරහා ගමන් කර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ තම විරෝධතාවය පළ කළහ. මෙම පා ගමන ගමන් ගත් මාර්ගය හේතුවෙන් බොරැල්ල සහ මරදාන යන ප්‍රදේශ ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී තිබුණු බව පොලීසිය ප්‍රකාශ කළේය.
මෙම විරෝධතාවය හරහා බලධාරීන්ට බලපෑම් කරමින් ඔවුන් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටියේ ජනතාව මත පටවා ඇති අසාධාරණ බදු සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපන මෙන්ම අනෙකුත් සේවාවන් මත පනවා ඇති බදු වහාම අහෝසි කරන ලෙසයි. ඊට අමතරව සහල්, පරිප්පු සහ පොල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් කඩිනමින් පහත හෙළීම, ණය බරින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම මෙන්ම පොදු ප්‍රවාහනය, සෞඛ්‍යය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා වෙන් කරන රාජ්‍ය ප්‍රතිපාදන ඉහළ නංවන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. පවතින දැඩි ජීවන වියදමට සාපේක්ෂව පවුලක් සඳහා රජයෙන් ලබාදෙන මාසික අවම සහන දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන ලෙසද විරෝධතාකරුවන් එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

