constable-who-partied-with-kasippuwa-suspended-from-duty

කසිප්පු ජාවාරම්කරුවකු සහ විවිධ අපරාධවලට සම්බන්ධ බව කියන පුද්ගලයකුගේ නිවසට ගොස් මත්පැන් සාදයක් පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. මඩකලපුව සහකාර පොලිස් අධිකාරී (1) විසින් සිදු කරන ලද විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම නිලධාරියාගේ රාජකාරී වැඩ ඉකුත් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස තහනම් කර ඇත.




මෙම කොස්තාපල්වරයා ඔහුගේ මිතුරන් යැයි සැලකෙන තවත් දෙදෙනෙකු ද සමග පසුගිය 29 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි අදාළ ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇති බව පොලිසිය පවසයි. එහිදී ඔවුන් එම නිවස පිටුපස ඇති කලපු තීරයට ගොස් සිව්දෙනාම එක්ව මත්පැන් පානය කරමින් සාදයක් පවත්වා ඇත.

සාදය අතරතුරදී කොස්තාපල්වරයා සමග පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු සහ අදාළ අපරාධවලට සම්බන්ධ බව කියන පුද්ගලයා අතර බහින්බස්වීමක් හටගෙන තිබේ. එහිදී සිදු වූ පහරදීමකින් ජාවාරම්කරු බව කියන පුද්ගලයාගේ දත් හතරක් කැඩී ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. එම අවස්ථාවේදී දත් කැඩී ගිය පුද්ගලයා විසින් පොල්ලකින් පහර දීම හේතුවෙන් අනෙක් පුද්ගලයාගේ හිසට ද තුවාල සිදුව ඇති අතර, ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.




මෙම ගැටුමෙන් දත් කැඩී ගිය පුද්ගලයාට එරෙහිව කසිප්පු ජාවාරම් කිරීම, ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම සහ පුද්ගලයකුට පහර දී තුවාල කිරීම යනාදී චෝදනා යටතේ නඩු කිහිපයක්ම අධිකරණයේ විභාග වෙමින් පවතින බව මඩකලපුවේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ. එවැනි අපරාධ පසුබිමක් සහිත පුද්ගලයෙකු බව දැන දැනම ඔහු සමග සමීප සබඳතා පවත්වමින් මත්පැන් සාදයකට සහභාගී වීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ කොස්තාපල්වරයාට එරෙහිව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.