ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තීනියාවල, පිටිගල තවලම පාරේ පිහිටි ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩවසද්දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අභියාචනාධිකරණය සහ මහාධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තු මත උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් නියෝග කර තිබිණි.
CCD විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ, 2018 වසරේදී අභියාචනාධිකරණය විසින් පනවන ලද සිරදඬුවම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 මැයි මාසයේදී පිරිනමන ලද ජනාධිපති සමාව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් (29) වැනිදා බලරහිත කිරීමයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව 2016 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් (වසර 6කින් ගෙවී යන පරිදි) නියම වී තිබිණි.
කෙසේ වෙතත්, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව මෙම සමාව ලබාදී ඇති බවට තීන්දු කරමින් එය බලරහිත කළේය. ජනාධිපති සමාව බලරහිත වීමත් සමඟ, අභියාචනාධිකරණය මගින් නියම කරන ලද මුල් සිරදඬුවම යළි බලාත්මක වූ අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.
මීට අමතරව ඉකුත් (30) වැනිදා කොළඹ අංක 09 මහාධිකරණයේ විභාග වූ ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනාවට අදාළ නඩු කටයුත්තකට ඥානසාර හිමියන් පෙනී නොසිටීම හේතුවෙන් ද තවත් වරෙන්තුවක් නිකුත් කර තිබූ බව උසස් පොලිස් නිලධායෙක් කීය.
අධිකරණ වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකුට ආරක්ෂාව සැපයිය නොහැකි බැවින්, ඥානසාර හිමියන්ගේ විහාරස්ථානය වෙත මෙතෙක් ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ද පසුගිය 30 වැනිදා සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීර මහතාගේ උපදෙස් මත සිදු කෙරිණි. සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල කාරියවසම්, ඒකක පහ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මදුක බාසිත රසාංජන මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
ඥානසාර හිමි අධිකරණ නියෝග ප්‍රකාරව ඉදිරියේ නැවතත් පෙර සිර දඩුවම වසර පහමාරක ශේෂය ගෙවා දමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

