ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන අධිකාරිය වෙනස් විය. පුහුණුකරුවන්, තේරීම් කමිටු මෙන්ම ක්‍රීඩකයන් ද වරින් වර වෙනස් විය.නමුත් කිසිසේත්ම වෙනස් නොවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටිය තුළ දක්වන අසාර්ථක ක්‍රියාකාරීත්වයයි. එකම දුර්වලතා නැවත නැවතත් කරළියට පැමිණීම, පිතිකරණයේ දරුණු කඩා වැටීම්,
අස්ථාවර තේරීම් සහ ක්‍රීඩකයන්ගේ භූමිකාවන් පිළිබඳ පැහැදිලි බවක් නොමැතිකම වසර දහයකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගෙන ඇති ගැඹුරු අර්බුදයේ ස්වභාවය මනාව පැහැදිලි කරයි. මෑතකදී එංගලන්ත සංචාරයේදී ලැබූ නින්දිත පරාජයන් මාලාව මෙම ව්‍යසනකාරී තත්ත්වය තවදුරටත් තහවුරු කළ අතර, පාලනාධිකාරීන් කෙතරම් වෙනස්කම් සිදු කළද පිටිය තුළ ඇති අඳුරු යථාර්ථය වෙනස් වී නොමැති බව පසක් කළේය.එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සැබෑ තත්ත්වය පෙන්වා දුන් කටුක කැඩපතක් විය. පළමු තරගයෙන් ලකුණු 119ක පරාජයක් සහ දෙවන තරගයෙන් පන්දු 47ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව, කාඩිෆ් හි පැවැති දෙවන තරගයේදී ලකුණු නොදැවී 55ක්ව තිබියදී ලකුණු 95කට කඩුලු 5ක් ලෙස කඩා වැටී අවසාන පන්දු වාර 4දී ලකුණු 12කට කඩුලු 4ක් අහිමි කරගනිමින් ලකුණු 145කට කඩුලු 9ක් ලෙස ඉනිම අවසන් කළේය. ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවැති තෙවන තරගයේදී පැතුම් නිශ්ශංක ලබාගත් ලකුණු 36 සහ කමිඳු මෙන්ඩිස් ලබාගත් ලකුණු 35 හමුවේ වුවද ශ්‍රී ලංකාව ලකුණු 124කට සියල්ලන්ම දැවී ගියේය. එංගලන්තය පන්දු 62ක් ඉතිරිව තිබියදී ඕවර 9.4කදී කඩුලු 2කට ලකුණු 126ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගත්තේ ජොස් බට්ලර් නොදැවී ලබාගත් ලකුණු 62 සහ හැරී බෲක් ලබාගත් ලකුණු 33 ආධාරයෙනි. මෙම 3-0ක තරගාවලි පරාජයත් සමග එංගලන්තයට එරෙහිව අඛණ්ඩව විස්සයි20 තරග 15ක් පරාජය වීමේ අමිහිරි වාර්තාව ද ශ්‍රී ලංකාව හමුවේ සටහන් වූ අතර, ඉන්දියාව දෙවැනි ස්ථානයට ඇද දමමින් විස්සයි20 ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානයට පැමිණීමට එංගලන්තයට හැකි විය.
විස්සයි20 පිටියේ අසාර්ථකත්වය එක්දින තරග රටාවට ද එලෙසින්ම බලපෑවේය. ඩර්හැම් හි පැවැති පළමු එක්දින තරගයේදී එංගලන්තය රැස් කළ ලකුණු 265 හමුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 176කට සීමා වූයේ ලකුණු 89ක පරාජයක් උරුම කරදෙමිනි. ලංකා ප්‍රිමියර් ලීග් හි දක්ෂතා දක්වා සහ එංගලන්තයේ ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කර ලැබූ අත්දැකීම් සහිතව වනිඳු හසරංග වෙනුවට කණ්ඩායමට කැඳවූ නවක පා දඟපන්දු යවන ක්‍රීඩක සචින්දු කොළඹගේ ජාත්‍යන්තර වරම් ලබමින් ලකුණු 44කට ජෝ රූට් ඇතුළු කඩුලු 3ක් දවාගනිමින් යම් අභියෝගයක් එල්ල කළද, ශ්‍රී ලංකා පිතිකරුවන්ට විල් ජැක්ස්ගේ ලකුණු 22කට කඩුලු 5ක පන්දු යැවීම හමුවේ හිස එසවීමට ඉඩක් නොලැබුණි. ආබාධයකින් පසු පැමිණි නායක කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක් රැස් කළද මැදපෙළ කඩා වැටීම වැළැක්විය නොහැකි විය. මෙම පරාජයත් සමග ICC එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වන ස්ථානයේ සිටි එංගලන්තය තවදුරටත් ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා පහත වැටුණු අතර, ඉන්දියාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව පිළිවෙලින් මුල් ස්ථාන තුන හිමිකරගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දීර්ඝකාලීන පරාජයන් පිටුපස ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ පිතිකරණයේ පවතින දැඩි අස්ථාවරත්වය සහ තාක්ෂණික දුර්වලතාවයන්ය. විස්සයි20 තරගවලදී ලකුණු 135, 145/9 සහ 124 වැනි අඩු ලකුණු සංඛ්‍යාවලට සීමා වීමෙන් මැදපෙළ කඩා වැටීමේ බරපතළකම පෙනී යයි. ස්කයි ස්පෝර්ට්ස් නාලිකාවේ පසු-තරග විශ්ලේෂණයට එක්වෙමින් එංගලන්තයේ හිටපු නායක නසාර් හුසේන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව අතීතයේ සිටි ප්‍රබල කණ්ඩායමට වඩා “සැතපුම් ගණනාවක් පිටුපසින්” සිටින බවයි. පළමු තරගයේදී 54%ක් සහ දෙවන තරගයේදී 42%ක් ලෙස සටහන් වූ ඩොට් බෝල ප්‍රතිශතය මෙන්ම තරගයක පන්දු 50කට වඩා ලකුණු නො ලබා අපතේ හැරීම තරගයක පීඩනය කළමනාකරණය කර ගැනීමට ඇති නොහැකියාව පෙන්වයි. අරවින්ද ද සිල්වා වැනි අතීත ප්‍රබලයන් වේගපන්දු යවන්නන්ට එරෙහිව නිවැරදි තාක්ෂණයෙන් සහ පන්දුවට පහරදීමේ වේලාව කළමනාකරණය කරමින් හතරේ සීමාවට පන්දු යැවුවද, වත්මන් පිතිකරුවන් වේගයට එරෙහිව ශරීරයේ පාලනය ගිලිහී යමින් අධික ලෙස බලය යොදා පහරදීමට උත්සාහ කිරීම ප්‍රධාන තාක්ෂණික දුර්වලතාවයක් ලෙස නසාර් හුසේන් පෙන්වා දෙයි.
තේරීම් කමිටුවේ සහ කළමනාකාරීත්වයේ අස්ථාවර තීරණ ද මෙම පසුබැස්මට සෘජුවම වගකිව යුතුය. නිරෝෂන් දික්වැල්ල නැවත කණ්ඩායමට කැඳවීම, විස්සයි20 ලීග් දක්ෂතා මත පදනම්ව දසුන් ශානක එක්දින කණ්ඩායමට ගෙන ඒම සහ ඔහුව පවර්-හිටර් කෙනෙකු ලෙස භාවිතා නොකර මැදපෙළ පිතිකරුවෙකු ලෙස යෙදවීම, කමිල් මිෂාර අංක 3 ස්ථානයට උසස් කිරීම, කමිඳු මෙන්ඩිස්ගේ උපනායකත්වය අහෝසි කිරීම සහ නැවත පත් කිරීම, ලෝක කුසලානයේදී දක්ෂතා දැක්වූ පවන් රත්නායක බෙන්ච් එකේ තැබීම සහ දඟපන්දු යවන ප්‍රධාන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ කණ්ඩායමෙන් ඉවත් කිරීම වැනි තීරණ දැඩි විවේචනයට ලක්විය. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයෙකු වන කුමාර් සංගක්කාර ද මෙම තේරීම්වල පවතින අවිධිමත්භාවය සහ තීරණ ගැනීමේ අස්ථාවරත්වය විවේචනය කරමින් කියා සිටියේ, කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ගේ භූමිකාවන් ස්ථාවර කර විශ්වාසය තැබිය යුතු බවයි.
නායකත්වයේ සහ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයේ පවතින ගැටලු ද මෙහිදී මතු වේ. කුසල් මෙන්ඩිස්ගේ ආබාධය හමුවේ අතුරු නායකත්වයට පත් චරිත් අසලංක ද පිතිකරුවෙකු ලෙස දැඩි අසාර්ථකත්වයක පසුවන අතර, මෙම තරගාවලිය ශ්‍රී ලංකාව විස්සයි20 පිටියේ සිටින ස්ථානය පිළිබඳ හොඳ ඇස් ඇරවීමක් බව ඔහු පිළිගත්තේය. සංගක්කාර සහ නසාර් හුසේන් අවධාරණය කළ පරිදි දෙපිල අතර පවතින පරතරය ඉතා විශාලය. ශාරීරික යෝග්‍යතාව, බලය සහ වේගවත් බව නූතන විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය වන නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ එම ලක්ෂණ තවමත් ප්‍රමාණවත් මට්ටමක නැත. කෙසේ වෙතත්, සංගක්කාර වැනි ප්‍රබලයන් මාධ්‍ය හමුවේ විවේචන කිරීමට එහා ගොස් තමන් නියෝජනය කරන පරිවර්තන කමිටුව හරහා මෙම ගැටලුවලට සෘජු විසඳුම් ලබා දීමට මැදිහත් විය යුතු බවට ද මතයක් පවතී.
දේශපාලන බලපෑම් සහ පාලක මණ්ඩල වෙනස් කිරීමෙන් පමණක් තරග ජයග්‍රහණය කළ නොහැකි බව පසුගිය කාලය පුරා පැහැදිලි විය. මූල්‍ය අවභාවිත චෝදනා සහ අඛණ්ඩ පරාජයන් මුල් කරගනිමින් ශම්මි සිල්වා ප්‍රමුඛ කමිටුව ඉවත් කර අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නව කමිටුව උත්සාහ කළ ද, පිටිය තුළ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් නොවන තාක් එය වැලි මත ඉදි කළ සිහිනයක් පමණි. පසුගිය දශකය පුරා ග්‍රැහැම් ෆෝඩ්, චන්දික හතුරුසිංහ, මිකී ආතර්, ක්‍රිස් සිල්වර්වුඩ්, සනත් ජයසූරිය සහ වත්මන් පුහුණුකරු ගැරී කිර්ස්ටන් වැනි අධික පිරිවැයක් දැරූ පුහුණුකරුවන් මෙන්ම අරවින්ද, සනත්, සංගක්කාර, මහේල, මුරලිදරන් සහ සිදත් වෙත්තමුණි වැනි ප්‍රබලයන් පරිපාලනයට පැමිණියද මාධ්‍ය විසින් සාමාන්‍ය දක්ෂතා විශිෂ්ට දක්ෂතා ලෙස හුවදක්වන දුර්වල සංස්කෘතිය වෙනස් කිරීමට නොහැකි විය.
තනි තරගයක් ජයග්‍රහණය කිරීමෙන් හෝ තාවකාලික විසඳුම්වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැඟිය නොහැක. නූතන තරගකාරීත්වයට ගැලපෙන පරිදි දේශීය ක්‍රිකට් ව්‍යූහය, තේරීම් ප්‍රතිපත්තිය සහ ක්‍රීඩකයන්ගේ නිපුණතා වර්ධනය කිරීමේ ක්‍රමවේදය කඩිනමින් සංශෝධනය විය යුතුය. එසේ නොමැති වුවහොත්, නසාර් හුසේන් පැවසූ පරිදි ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ පෙළේ කණ්ඩායම්වලට වඩා සැතපුම් ගණනාවක් පිටුපසින් තවදුරටත් රැඳී සිටිනු ඇත.
