what-stage-are-you-on-limini-stays-home-to-look-after-the-children-i-am-the-one-who-takes-care-of-them

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය සක්‍රීය දේශපාලනයට අවතීර්ණ වන බවට සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සූදානම් වන බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ප්‍රකට ව්‍යාපාරික, එල්එස්ආර් (LSR) සමූහ ව්‍යාපාරයේ සභාපති මෙන්ම ඇගේ පියා වන තිලක් වීරසිංහ මහතා 'ටෘත් විත් චමුදිත' වැඩසටහනකට එක්වී ප්‍රකාශ කරයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත විශේෂ දේශපාලන රැලිය සඳහා ලිමිණි රාජපක්ෂ මහත්මිය සංවිධායකත්වයෙන් හෝ කථිකාවියක ලෙස සහභාගී වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු පෙන්වා දෙන්නේ, එවැනි කිසිදු තීරණයක් හෝ සාකච්ඡාවක් පවුල තුළ සිදුව නොමැති බවයි.

පවත්නා දේශපාලන වාතාවරණය සහ නීතිමය තත්ත්වයන් හමුවේ තම දියණිය මෙවැනි අවස්ථාවක දේශපාලන වේදිකාවලට ගොඩවීම කිසිසේත්ම සුදුසු නොවන අතර, එය දේශපාලනික වශයෙන් ගත් කල අඥාන ක්‍රියාවක් ලෙස තමා දකින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.




තම බෑණනුවන් වන නාමල් රාජපක්ෂ මහතා වත්මන් දේශපාලන පරිසරය තුළ අභියෝගාත්මක මෙන්ම අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින මොහොතක, ලිමිණි රාජපක්ෂ මහත්මියගේ ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තම කුඩා දරුවන් දෙදෙනාගේ කටයුතු සම්පූර්ණ කරමින් පවුලේ ස්ථාවරත්වය රැකගැනීම මිස දේශපාලන වේදිකා තරණය කිරීම නොවන බව තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි. සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජනරැලියට ඇය සහභාගී වන බවට පළවන වාර්තා කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව ප්‍රචාරය කරන ලද අසත්‍ය පුවත් එකතුවක් බවට ඔහු චෝදනා කරයි. රාජපක්ෂ පවුල සාමාන්‍යයෙන් පවුලෙන් පිටත අයට යම් යම් තනතුරු ලබා නොදෙන බවට මතයක් පැවතියද, නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත හෝ වෙනත් පාර්ශ්වයකගේ බලපෑමක් මත ලිමිණි රාජපක්ෂ මහත්මිය සක්‍රීය දේශපාලනයට කැඳවීමේ කිසිදු සූදානමක් නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.

නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිණි රාජපක්ෂ මහත්මිය සිය දරුවන් දෙදෙනා සමඟ ජීවත් වන්නේ කොළඹ නෙග්‍රිස් පාරේ පිහිටි තිලක් වීරසිංහ මහතාට අයත් නිවසේය. එම පවුලේ සියලු නඩත්තු කටයුතු, ආහාර පාන මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික වියදම් ඇතුළු සියලු දෛනික වියදම් තම පෞද්ගලික ප්‍රතිපාදනවලින් දැරීමට තමා කටයුතු කරන බව පවසන වීරසිංහ මහතා, නිවස තුළ කිසිදු දේශපාලන සාකච්ඡාවක් හෝ ප්‍රචාරක කටයුත්තක් සිදු නොවන බවත්, නාමල් රාජපක්ෂ මහතා නිවසට පැමිණි පසු අතිශය සරල පවුල් ජීවිතයක් ගතකරන බවත් ප්‍රකාශ කරයි. රාජපක්ෂ පවුල සමඟ පැවැත්වෙන මෙම ඥාති සබඳතාව නිසා තමාට සහ තම ව්‍යාපාරවලට නොයෙකුත් චෝදනා එල්ල වුවද, 2015 වසරේදී රාජපක්ෂවරුන් බලයෙන් බැහැරව සිටි සමයේ සිදුවූ මෙම විවාහය දරුවන්ගේ කැමැත්ත මත සිදුවූවක් බැවින් ඒ පිළිබඳව තමා කිසිසේත් පසුතැවෙන්නේ නැති බවද ඔහු කියයි.




රාජපක්ෂලට කියන්නෙ මිනිස්සු හොරු කියලා. ලිමිණිගේ තාත්තත් හොරෙක්. එතකොට ලිමිණිටත් ඒකේ මේ පැත්තක් බලපානවා.ඔබට ලැජ්ජාවක් නැද්ද? ඔබ ඇත්තටම එහෙම කතා අහගන්න.

චමුදිත කසාදයක් කියන එක දවසෙන් කරන්න බැහැ. ඒකට තීරණ ගන්න ඕනේ. පවුල් දෙකක් එක්ක එක්කහුවෙලා ගන්න තීරණයක්. එතෙන්දී දේශපාලන තීරණයක් නෙමෙයි ගත්තේ. ඒක පවුලේ තීරණයක්. එතකොට නාමල් මම දන්නේ දැන් නෙමෙයි. නාමල් මම දන්නේ විශාල අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉඳන්. එයා එහෙම නෑ මස් මාළු කටේ තියන් නැති බොන්නෙ නැති හොඳ දරුවෙක්...



ඔය එයාර් බස් එකේ ගහලා තියෙන ගැහිලි ටික ‍මදිද? 

අනේ මේ චමුදිත මේවට තියෙන මුල් ආරම්භ තියෙනවනේ. මේ කොහෙන්ද එයා බස් ගනුදෙනුව ආවේ. මුල් ආරාධනා තිබිච්ච තැන් සහ ඒවයේ කරපු මිනිස්සු ගිහිල්ලා පටලවලා චමුදිත. කාට හරි කියන්න පුළුවන්ද ඩොලර් ලක්ෂ අටක් ගෙනල්ලා මේස උඩින් තියලා ගියා කියලා. 

නිමල් පෙරේරා කියන්නේ.? 

ඉතින් ඩොලර් ලක්ෂ අටක් කොහොමද චමුදිත ගේන්නේ? බෑග් එකද? අඩු ගානේ නැත්නම් සූට්කේස් එක ඔලුවේ තියන් එන්න වෙයි. 

නාමල්ගේ ඔය ඩොලර් ලක්ෂ අටෙන් ලක්ෂ කීයක් ඔබේ බිස්නස් එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවද? 

සත පහක් නැහැ. මම කියනවා ඇත්තටම මේගොල්ලන් ගත්තා නම්, දුන්නා නම් හරි කවුරු හරි ගත්ත එක්කෙනත් වැරදියි, දුන්න එක්කෙනත් වැරදියි.

තමාගේ හිමිකාරිත්වය සහිත එල්එස්ආර් (LSR) සමාගම හරහා නාමල් රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කරන බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්, සත්‍ය තොරතුරු විකෘති කරමින් සිදුකරන අසත්‍ය ප්‍රචාර බවත් තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි. නාමල් රාජපක්ෂ මහතා උපත ලැබීමටත් පෙර සිටම තමා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආරම්භ කළ බවත්, LSR ආයතනයේ කිසිදු අධ්‍යක්ෂ ධුරයක්, කොටස් හිමිකාරිත්වයක් හෝ ව්‍යාපාරික හවුල්කාරිත්වයක් නාමල් රාජපක්ෂ මහතාට නොමැති බවත් ඔහු පැහැදිලි කරයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල LSR සමාගමට අයත් හෝටල් පරිශ්‍රයන් කිහිපයක නම් ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, තමා විසින් තම දියණියට සහ පුතුට අනාගතයේදී පැවරීම සඳහා භාගය බැගින් නීත්‍යානුකූලව වෙන්කර ඇති දේපොළ පවතින බවත්, පවතින රාජ්‍ය නීතියට අනුව මන්ත්‍රීවරයෙකු සිය බිරිඳගේ වත්කම් ප්‍රකාශ කළ යුතු බැවින් එම දේපොළ සටහන් කර ඇති බවත්ය.

නාමල් රාජපක්ෂ මහතා ඩොලර් ලක්ෂ අටක මුදලක් ගෙනවිත් මේසයක් මත තැබූ බවට සහ එම මුදල් LSR ව්‍යාපාරයේ ආයෝජනය කළ බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන ඒ මහතා, එවැනි විශාල මුදලක් භෞතිකව බෑග්වල දමාගෙන පැමිණීම ප්‍රායෝගික නොවන බවත් තම ව්‍යාපාර සඳහා කිසිදු නීති විරෝධී මුදලක් මුසු වී නොමැති බවත් අවධාරණය කරයි. එමෙන්ම ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට තමාගේ නම ඈඳමින් සමාජ මාධ්‍යවල පළවන පෝස්ට් සම්බන්ධයෙන් කරුණු දක්වමින්, එම අධිකාරියේ සභාපතිත්වය දැරුවේ වෙනත් තිලක් වීරසිංහ නැමැති පුද්ගලයෙකු මිස තමා නොවන බවත්, තම පින්තූර යොදාගනිමින් මෙලෙස අසත්‍ය ප්‍රචාර පැතිරවීම මගින් තමාට සහ තම පවුලට දැඩි චරිත ඝාතනයක් සිදුකරන බවත් ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මුදල් අවභාවිත කළ බවටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ටෙන්ඩර් ලබාගත් බවටත් එල්ල වන චෝදනා ද තිලක් වීරසිංහ මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. එම ප්‍රවාහන හා නවාතැන් සේවා සැපයීමේ කටයුතු සිදු වූයේ තාජ් හෝටලය හරහා ඉදිරිපත් කළ මිල ගණන් ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව බවත්, සංචාරක සහ ප්‍රවාහන සේවා සැපයූ LSR ආයතනයට පාපන්දු සම්මේලනයෙන් තවමත් ගෙවීමට ඇති හිඟ මුදල් පවා පවතින බවත් ඔහු අනාවරණය කරයි. කොවිඩ් නිරෝධායන සමයේදී එයාර්පෝට් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි සපයන ලද වාහන සේවාවලට අදාළ මුදල් පවා තවමත් හිමිවී නොමැති බව සඳහන් කරන ඒ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් වාහන සහ නවාතැන් පහසුකම් සැපයීම නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වීමටත් පෙර සිටම තමා සාර්ථකව සිදුකළ ව්‍යාපාරික කටයුත්තක් බවත්, ඉන් කිසිදු අයුරකින් රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදු වී නොමැති බවත් ප්‍රකාශ කරයි.