presidential-pardon-reverse-gnanasara-thero-back-in

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබාදුන් ජනාධිපති ක්ෂමාදානය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැණි එකක් බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය බලරහිත කර තිබේ.




අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි මෙම ප්‍රකාශනය සිදු කර ඇත්තේ.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී සිදු වූ අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමට අදාළව, ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන පරිදි නියෝග කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබුණි.




පසුව එම සිරදඬුවම 2018 ඔක්තෝබර් මස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කළ අතර, වසර හයක බරපතල වැඩසහිත බන්ධනාගාර දඬුවම් විඳිමින් සිටි උන්වහන්සේව 2019 මැයි 23 වනදා එවකට ජනාධිපතිවරයා ලබා දුන් විශේෂ සමාව යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කෙරිණි. වසර 6 ක් ගත කළයුතු සිර දඩුවම මාස 7 කින් ඉවත් කරගත් නිසා නැවත ඇතුළට යාමෙන් පසු ඉතිරි අවුරුදු 5 මාස 5 ක් ඒ අනුව හිමියන් සිරගතවනු ඇත.