බණ්ඩාරවෙල මහ නගර සභාවේ සිදුවූ බව කියන මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සැකසීමේ සිදුවීමකට අදාළව පවත්වන පරීක්ෂණවලට අනුව එම නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (09) රාත්‍රී කාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අදාළ සිදුවීමට සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර නගර සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ ලිපිකරුවන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. හිටපු නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් සහ අනෙකුත් විමර්ශන මගින් හෙළිවූ කරුණු පදනම් කරගනිමිනි.
මේ වන විට බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු නගරාධිපතිවරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි. ඔහු අද (10) දිනයේදී බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.