vishwa-kodikara-caught-with-cocaine

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ප්‍රකට රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. සැප්තැම්බර් 17 වන දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනාවට තමන් වරදකරු බව රංගන ශිල්පියා ප්‍රකාශ කිරීමත් සමඟ ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය විසින් මෙම නියෝගය පනවන ලදී.




වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක මත්ද්‍රව්‍ය පවතින බවට වැල්ලවත්ත පොලිසියට සැප්තැම්බර් 16 වනදා රාත්‍රියේ ලද තොරතුරකට අනුව ක්ෂණික වැටලීමක් සිදු කර ඇත. එම වැටලීමේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් විශ්ව කොඩිකාර ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් පිරිස මෙලෙස අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් සඳහන් කළේ, අත්අඩංගුවට පත්වන මොහොතේ විශ්ව කොඩිකාර භාරයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 1050ක ප්‍රමාණයක් සොයාගත් බවයි. ඉදිරියේදී නැවතත් මෙවැනි මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට හසුවී අධිකරණය හමුවට පැමිණියහොත්, එම පිරිස ඍජුවම පුනරුත්ථාපනය සඳහා යොමු කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී අදාළ සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කළාය.