ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මහතා මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් ඒ මහතා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබා දීමේ සිද්ධියකට අදාළව ඔහුට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන තිබේ. 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන මෙන්ම 2014 සැප්තැම්බර් 19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව කටයුතු කරමින්, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අය කරගැනීමකින් තොරව නිකුත් කිරීම රේණුක පෙරේරා මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ රේණුක පෙරේරා මහතා එම බන්ධනාගාරයේ 'එන්' වාට්ටුවේ රඳවා සිටින බවයි. විවිධ චෝදනා යටතේ රිමාන්ඩ් භාරයට පත් කර සිටින රජයේ සේවකයන් ඇතුළු තවත් රැඳවියන් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එම වාට්ටුවේ පසුවන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද රඳවා තබා ඇත්තේ එම වාට්ටුවේමය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය. සැකකාර මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.