දෙහිවල කවුඩාන, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) සිය දැඩි කම්පනය සහ සංවේගය පළ කර සිටියි.
සිය නිල ‘X’ ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කිසිදු දරුවෙකු මෙවැනි සාහසික ප්‍රචණ්ඩ ක්‍රියාවල ගොදුරක් නොවිය යුතු බවයි. මෙම ම්ලේච්ඡ අපරාධයට වගකිව යුතු සියලු දෙනා වහාම නීතිය හමුවට පමුණුවා ඊට අදාළ දඬුවම් ලබා දිය යුතු බව අවධාරණය කරන නේවාසික නියෝජිතවරයා, අකාලයේ වෙන්ව ගිය දරුවන්ගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් වෙත සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කර තිබේ.
අලුයම් කාලයේදී සිදු වූ මෙම ප්‍රහාරය ත්‍රිරෝද රථයකින් පැමිණි අනුමත නොකළ පුද්ගලයෙකු විසින් එල්ල කර පළා යන අයුරු අසල සවි කර තිබූ ආරක්ෂිත CCTV කැමරාවල සටහන් වී තිබිණි.
ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබූ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් නමුත්, දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 11 හැවිරිදි දුමිදු ගිහාන් සහ 17 හැවිරිදි කසුන් රශ්මික යන සොහොයුරන් දෙදෙනා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. ප්‍රහාරයෙන් පාදවලට බරපතළ හානි සිදු වූ 55 හැවිරිදි පියා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.