two-day-rail-strike-begins-thursday-morning

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු පරිපාලන සහ මෙහෙයුම් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 26ක් එක්ව සංවිධානය කරන පැය 48ක සංකේත වැඩවර්ජනය අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරු සහයකයන්, ෂන්ටින් රියදුරන්, ධාවන පාලකවරුන් මෙන්ම ප්‍රධාන වැඩපළ සහ අංගන සේවකයින් ද ඊට එක්ව සිටිති.

මේ හේතුවෙන් ඉදිරි දෙදින තුළ දිවයින පුරා දුම්රිය ගමනාගමන කටයුතු සැලකිය යුතු ලෙස අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.




වර්ජනයට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවද, ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනම් එකඟතාවකට පැමිණීමට නොහැකි විය. එහිදී දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතාට එරෙහිව නිකුත් කර තිබූ නිදහසට කරුණු විමසීමේ ලිපිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබුණද, සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීමේ ප්‍රධාන ඉල්ලීමට ස්ථිර විසඳුමක් නොලැබීම නිසා වර්ජනය අත්නොහරින බව වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. දෛනික දුම්රිය ගමන්වාර අවලංගු වීම වැළැක්වීම, දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මගී අපහසුතා සඳහා විසඳුම් සෙවීම මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අරමුණ බව සමිති පෙන්වා දෙයි.

වෘත්තීය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ දෙපාර්තමේන්තුවේ අංශ නවයක මෙහෙයුම් හා තාක්ෂණික කටයුතු අධීක්ෂණයට වෙනම ප්‍රධාන ඉංජිනේරුවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කර ඇති බැවින් තාක්ෂණික මෙහෙයුම් සඳහා වෙනම වගකීම් ධුරාවලියක් පවතින බවයි. ආයතනික සංවේදී තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීම පිළිබඳව කරුණු විමසීම විනය පියවරක් නොවන බව පෙන්වා දෙන පාලනාධිකාරිය, සාමාන්‍යාධිකාරී ධුරය පිළිබඳ තීරණ ගැනීමේ වගකීම රජය සහ කැබිනට් මණ්ඩලය සතු වන බව වැඩිදුරටත් සඳහන් කරයි.




සතියේ කාර්යබහුල දින දෙකකදී දුම්රිය සේවකයන් මෙලෙස සේවයෙන් ඉවත් වීම නිසා කාර්යාල සේවකයන්, පාසල් සිසුන් ඇතුළු මගී ජනතාව මෙන්ම දෛනික අත්‍යවශ්‍ය සේවා සැපයුම් ජාලය ද දැඩි අපහසුතාවකට පත්වීමේ ඉඩකඩ පවතින අතර, අර්බුදය සමනය කිරීම සඳහා අදාළ පාර්ශ්ව කඩිනම් විසඳුමකට එළඹීමේ අවශ්‍යතාවක් පවතී.